Home » විශේෂාංග » බලශක්ති » බලශක්ති අර්බුදය හඳුනාගනිමු

බලශක්ති අර්බුදය හඳුනාගනිමු

අපිට විවිධ අර්බුද ගැන අහන්න දකින්න ලැබුනත් ඒ අර්බුද බොහෝ විට යම් ප්‍රදේශයකට සිමා වූ අර්බුද. හැබැයි, බලශක්ති අර්බුදය කියන්නේ ලෝකයේ හැම රටකම සිටින හැම පුරවැසියෙකුටම අඩු වැඩි වශයෙන් දැනෙන බරපතල ගැටළුවක්. ඒ නිසා, මේ අර්බුදය ගැන යම් මට්ටමක හෝ දැනුමක් ලබාගෙන සිටීම ඉතාම වැදගත්.

අපගේ වර්ථමාන ජිවන රටාව පවත්වාගෙන යාමට නම් බලශක්ති කියන දේ අත්‍යාවශ්‍ය දෙයක්. ආහාරපාන සකසා ගැනීම, නිවාස තැනීම, ගමන් බිමන් සහ විනෝද කටයුතු ඇතුළු මෙකි නොකී සියලුම කටයුතු සඳහා අපට බලශක්ති අවශ්‍ය වෙනවා. දැනට මෙමබලශක්ති අවශ්‍යතා වැඩි වශයෙන්ම සපුරා ගන්නේ පොසිල ඉන්ධන භාවිතයෙන් (උදා: පෙට්‍රල්, ඩීසල්, ගල් අඟුරු…). මේ අතරින් ඛණිජ තෙල් (පෙට්‍රල්, ඩීසල් ) කියන්නේ ඉතාම සීග්‍රයෙන් ක්‍ෂය වන සම්පතක්. මේ ක්‍ෂය වන සම්පතට තියෙන ඉල්ලුමත් දිනෙන් දින වැඩි වෙනවා. චීනය සහ ඉන්දියාව වැනි සීග්‍රයෙන් දියුණු වන අති විශාල ජනගහණයක් ඉන්න රටවල් වලින් ඇති බලශක්ති ඉල්ලුම ඉතාම සීග්‍රයෙන් ඉහල යනවා. මේ ඉහල යන ඉල්ලුමට සරිලන ලෙසින් සැපයුම ලබා දිය නොහැකි නිසා නුදුරු අනාගතයේදී ඛණිජ තෙල් මිල සීග්‍රයෙන් ඉහල යාමේ අවධානමක් තියෙනවා. (දැන් විටින් විට සිදුවන ලෝක වෙළඳපොලේ තෙල් මිල පහල වැටීම බොහොම තාවකාලික ස්ථානනීය වෙනස්කම් පමණයි).

ප්‍රවාහන ක්ෂේස්ත්‍රය කියන්නේ තෙල් මිලට ඉතාම සංවේදී විෂය ක්ෂේස්ත්‍රයක් බව ඔබ හොඳින් දන්නා දෙයක්. තෙල් මිල ඉහල යාම සමගම පළමුවෙන්ම සිදුවන දෙයක් වෙන්නේ ප්‍රවාහන මිල ඉහල යාම. ප්‍රවාහන මිල ඉහල යන විට ආහාර පාන ඇතුළු සියලුම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල මිල ඉහල යනවා. මේ නිසා බරපතල සමාජයීය ව්‍යසන වලට මුහුණ දෙන්නට අපිට සිදුවෙනවා.

පොසිල ඉන්ධන දහනය මගින් සිදුවන පරිසර දුෂණයත් ඉතාම බරපතල ගැටළුවක්. පොසිල ඉන්ධන භාවිතයේදී සිදුවන විෂ වායු විමෝචනය නිසා ඉදිරි දශක කිහිපය තුල පෘථිවි උෂ්ණත්වය ඉහල යාමේ බරපතල අවධානමක් තියෙනවා. මේ හරහා ඉතාම බරපතල පාරිසරික ව්‍යසන වලට මුහුණ දීමට ලෝකවාසීන් වන අපිට සිදු වෙනවා.

සමාජයීය සහ පාරිසරික අර්බුද වලට අමතරව බලශක්ති අර්බුදය දේශපාලන අර්බුදයක් බවට දිග් ගැස්සිමේ පැහැදිලි අවදානමක් තියෙනවා. මතුපිට කතාව කුමක් වුවත් ඇමෙරිකාව ඉරාකය ආක්‍රමණය කිරීමේ අරමුණ පිටුපස තියෙන්නේ ඉන්ධන කියන දේ බොහොම පැහැදිලි කාරණයක්. හැබැයි ඒ එක කතාවක් පමණයි. පොසිල ඉන්ධන සම්පත තියෙන්නේ ඉතාම සීමිත රටවල් ප්‍රමාණයකට පමණක් නිසා, ලෝකයටම අවශ්‍ය මේ සම්පත හිමි එම රටවල් වලට කුඩා රාජ්‍යයන් වලට එල්ල කළ හැකි බලපෑම ඉතාම විශාලයි. මේ තුලින් රාජතාන්ත්‍රික මට්ටමේ අර්බුද ඇති වෙන්නට තියෙන ඉඩකඩ බොහොමයි.

මේ කෙටි ලිපියෙන් කතා කලේ බලශක්ති අර්බුදය සහ එහි විපාක කිහිපයක් පමණයි. අපි ඉදිරියේදී කතා කරමු මේ බලශක්ති අර්බුදය ජය ගැනීම සඳහා දැනට කෙරීගෙන යන පර්යේෂණ මොනවද කියල. ඒ වගේම තනි පුද්ගලයින් ලෙසින් අපිට මොන විදියට ද මෙයට දායක වෙන්න පුළුවන් කියලත් වැඩිදුර සාකච්චා කරමු ඉදිරියේදී.

මේ ලිපිය ඔබේ දැනුමට පුංචිම හරි දෙයක් එකතු කරන්න ඇති කියල හිතෙනවා.

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *