Home » විශේෂාංග » හයිඩ්‍රජන් වාහන තාක්‍ෂණය » හයිඩ්‍රජන් වාහන තාක්‍ෂණික විමසුම: ලිපි අංක 02

හයිඩ්‍රජන් වාහන තාක්‍ෂණික විමසුම: ලිපි අංක 02

හයිඩ්‍රජන් වාහනයක ප්‍රධාන කොටස් හඳුනාගනිමු

මිට පෙර ලිපියෙන් හයිඩ්‍රජන් වාහනයක් යනු කුමක්ද යන්න සහ එම තාක්‍ෂණයේ ඇති වැදගත්කම පිළිබඳව අපි සාකච්ඡා කළෙමු. මෙම ලිපියෙන් හයිඩ්‍රජන් වාහනයක ඇති ප්‍රධාන කොටස් 4ක් පිළිබඳව අපි අවධානය යොමු කරමු.එනම්,

1. ඉන්ධන ටැංකිය

2. බැටරි පද්ධතිය

3. විදුලි මෝටර්

4. Fuel cell stack

පහත ඇති සටහනේ මෙම උපකරණ පිහිටා ඇති ආකාරය පෙන්නුම් කර ඇත.

හයිඩ්‍රජන් වාහනයක ප්‍රධාන කොටස් (source: www.fueleconomy.gov )

 හයිඩ්‍රජන් වාහනයක ප්‍රධාන කොටස්
                                (source: www.fueleconomy.gov )

ඉන්ධන ටැංකිය:
ඉන්ධන ටැංකියක අවශ්‍යතාවය සහ එහි කාර්යභාරය කුමක්ද යන්න අලුතින් හඳුන්වා දියයුතු දෙයක් නොව. නමුත් මෙම ඉන්ධන ටැංකිය සහ සාමාන්‍ය වාහනයක ඇති ඉන්ධන ටැංකිය අතර පැහැදිලි වෙනස්කම් ඇත. මෙහි ඉන්ධන (හයිඩ්‍රජන්) ගබඩාකර තැබෙන්නේ 70MPa (700bar) හෙවත් වායුගෝලීය පීඩනය මෙන් 700 ගුණයක් පමණ ඉහල පීඩනයක් යටතේ ය. හයිඩ්‍රජන් වායුව ඝනත්වයෙන් ඉතා අඩු බැවින් දිගු ගමනක් සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය කුඩා පරිමාවක ගබඩා කර තබා ගැනීමට මෙසේ අධික පීඩනයක් යොදා ගැනීමට සිදුවේ.

හයිඩ්‍රජන් වාහනයක ඇති බොහෝ දෙනෙක් දැඩි බියක් දක්වන උපකරණය ඉන්ධන ටැංකිය යැයි සඳහන් කළහොත් එය අතිශෝක්තියක් නොවේ. අධික පීඩනයක් යටතේ ඇති හයිඩ්‍රජන් ටැංකියකට බියක් දැක්වීම සාධාරණ වුවද තාක්‍ෂණික වැඩි දියුණුකිරීම් හරහා නිපදවා ඇති මෙය බරපතල අනතුරකදී වුවද සුරක්ෂිතව පැවතීමට තරම් ශක්තිමත්ය. තවද, හයිඩ්‍රජන් දන්කියට මෙතරම් බිය නම් නිවසේ ඇති ගෑස් සිලින්ඩරයට එයිට වඩා බිය විය යුතුය. යම් හෙයකින් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක කාන්දුවක් ඇති වුවහොත් LP වායුවේ ඇති ඉහල ඝනත්වය නිසා එම කාන්දු වායුව පොළව ආසන්නයේ රැඳී පවතී. එබැවින් කාන්දුව ඇතිවී සෑහෙන කාලයකට පසුව වුවද ගිණි පුපුරක් ඇති වුවහොත් මහා ගින්නක් ඇතිවේ. නමුත් හයිඩ්‍රජන් යනු දැනට සොයාගෙන ඇති සැහැල්ලුම වායුවයි. එබැවින්, කාන්දුවක් ඇති වුවත් ක්‍ෂණිකව කාන්දු වායුව ඉහල අහසට ගමන් කරයි. එබැවින් ගින්නක් පැතිරීමට ඇති ඉඩකඩ අවමය.

බැටරි පද්ධතිය
පුනර්ජනක තිරිංග පද්ධතිය (regenerative brake system) මගින් නිපදවන විදුලිය ගබඩා කර තබා ගැනීම මෙමගින් සිදු කරයි. එනම් වාහනයේ තිරිංග තද කිරීමේදී සිදුවන චාලක ශක්ති හානිය විදුලිය බවට පරිවර්තනය කර මෙම බැටරි වල ගබඩා කරයි. පසුව එම විදුලිය වාහනයේ ධාවනය සඳහා යොදා ගනී. කෙසේ වෙතත්, battery electric vehicles වල මෙන් බාහිරව බැටරි ආරෝපණය කිරීමක් අවශ්‍ය නැත.

මෝටර්
හයිඩ්‍රජන් කාරයක් යනු විදුලියෙන් ධාවනය වන වාහනයක් බව අපි පෙර ලිපියේදී හඳුනා ගතිමු. එබැවින්, සාමාන්‍ය විදුලි කාරයක මෙන් මෙහිද ධාවනය සිදු වන්නේ විදුලි මෝටර් ආධාරයෙනි. මෙම මෝටර් සහ සාමාන්‍ය විදුලි කාරයක ඇති මෝටර් අතර වෙනසක් නැත.

Fuel Cell Stack
මෙය හයිඩ්‍රජන් වාහනයක හදවත බඳු කොටසයි. මෙමගින් හයිඩ්‍රජන් වායුව සහ ඔක්සිජන් වායුව ප්‍රතික්‍රියා කර එමගින් විදුලිය නිපදවීම සිදු කරයි. මෙහිදී කිසිදු දහන ක්‍රියාවලියක් සිදු නොවන අතර රසායනික ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵලය ලෙස නිපදවන්නේ සුපිරිසිදු ජලයයි. එනම්, පිටාර බටයෙන් නිකුත් වන්නේ සුපිරිසිදු ජලය පමණි. එබැවින් කිසිදු පරිසර හානියක් සිදු නොවේ.  Fuel cell වර්ග කිහිපයක්ම ඇති අතර රථ වාහන සඳහා යොදා ගන්නේ Polymer Exchange Membrane හෙවත් PEM  Fuel Cell යන විශේෂය යි. මෙහි ක්‍රියාකාරිත්වය දීර්ඝව සාකච්ඡා කළ යුතු බැවින් එය මෙහිදී සිදු නොකොට මීළඟ ලිපිය සම්පුර්ණයෙන්ම ඒ සඳහා වෙන් කර තබමි.

මීළඟ ලිපිය: Fuel cell stack එකේ ක්‍රියාකාරිත්වය හඳුනා ගනිමු 

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *