Home » විශේෂාංග » හයිඩ්‍රජන් වාහන තාක්‍ෂණය » හයිඩ්‍රජන් වාහන තාක්‍ෂණික විමසුම: ලිපි අංක 03

හයිඩ්‍රජන් වාහන තාක්‍ෂණික විමසුම: ලිපි අංක 03

හයිඩ්‍රජන් තාක්‍ෂණයේ ගමන් මග 
හයිඩ්‍රජන් වාහනයක් යනු කුමක්ද යන්න නිවැරදිව හඳුනා ගැනීමත්, හයිඩ්‍රජන් වාහනයක ඇති ප්‍රධාන කොටස් පිළිබඳව සංක්ෂිප්ත අවබෝධයක් ලබා ගැනීමටත් මීට පෙර පළවූ ලිපි දෙක ඔබට උපකාර වන්නට ඇතැයි සිතමි. කලින් සැලසුම් කර තිබුනේ මෙම ලිපිය හරහා fuel cell තාක්‍ෂණය පිළිබඳව විග්‍රහයක් කිරීමටයි. නමුත් තාක්‍ෂණික විග්‍රහයකට ප්‍රථම එහි ඉතිහාසය සහ විකාශනය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම වැදගත් බැවින් මෙම ලිපිය එම අරමුණ උදෙසා වෙන් කරන අතර  තාක්‍ෂණික විග්‍රහයක මීළඟ ලිපිය තෙක් කල් තබමි.

හයිඩ්‍රජන් වාහන යන්න අලුත් අත්දැකීමක් වුවත් හයිඩ්‍රජන් තාක්‍ෂණය වසර 200කට වඩා පැරණි තාක්‍ෂණයක් යයි සඳහන් කළහොත් ඔබ මවිත වනු ඇති. නමුත් එය සත්‍යයකි. හයිඩ්‍රජන් සහ ඔක්සිජන් ප්‍රතික්‍රියා කරවා විදුලිය නිපදවිය හැකි බව මුලින්ම ලොවට හෙළි කලේ හම්ප්‍රි ඩේවි නම් වූ විද්‍යාඥයා විසින් 1801 වසරේදී. මේ හඳුන්වාදීම වඩාත් වැඩි දියුණු කරමින් 1839 දී විලියම් ගෘව් නම් විද්‍යාඥයා විසින් ප්‍රථම වරට හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වායුව ප්ලැටිනම් උත්ප්‍රේරකය යටතේ ප්‍රතික්‍රිය කරවා විදුලිය නිපදවිය හැකි උපකරණයක් නිපදවිය. මෙය ඔහු වෝල්ටික් බැටරි ලෙස හැඳින්වූ අතර පසු කාලීනව fuel cell හෙවත් ඉන්ධන කෝෂය ලෙසට නම් කෙරුනේ වැඩි දියුණු කල මෙම වෝල්ටික් බැටරියයි.

ප්‍රධාන වශයෙන් fuel cell වර්ග 5ක් ඇති අතර රථ වාහන සඳහා යොදා ගනු ලබන්නේ Polymer Exchange Membrane Fuel Cell හෙවත් PEM fuel cell නමින් හඳුන්වන විශේෂයි. මෙම PEM වර්ගයේ ඉන්ධන කෝෂ (fuel cell) ලොවට හඳුන්වා දී ඇත්තේ General Electric සමාගම විසිනි, ඒ 1950 තරම් ඈත කාලයකදීය. මෙතරම් දීර්ඝ ඉතිහාසයක් තිබුනද මෙම තාක්‍ෂණය වෙළඳපොළට පැමිණීම ප්‍රමාද වීමට බලපෑ ප්‍රධානම සාධකයක් ලෙස හඳුනාගත හැකි වන්නේ අභ්‍යන්තර දහන එන්ජිම කෙරෙහි වඩාත් ආකර්ෂණයක් ඇති වීමයි. එවක ඉන්ධන පිළිබඳව හෝ පරිසර දුෂණය පිලිබඳ වැඩි අවධානයක් යොමු නොවූ බැවින් අභ්‍යන්තර දහන එන්ජින් තාක්‍ෂණය සමග තරග වැදීමට ඉන්ධන කෝෂ තාක්‍ෂණයට හැකියාවක් නැති විය. පර්යේෂකයින් තුල ඒ පිළිබඳව එතරම් උනන්දුවක්ද නොතිබුණි.

කෙසේ වෙතත් අද වන විට අභ්‍යන්තර දහන එන්ජිම සහ පොසිල ඉන්ධන බරපතල පාරිසරික සහ සමාජයීය අර්බුධ රැසකට මංපෙත් විවර කර ඇත. එබැවින්  විකල්ප ඉන්ධන සහ එම විකල්ප ඉන්ධන භාවිත කල හැකි තාක්‍ෂණයන් පිළිබඳව ලොව පුරා විද්‍යාඥයන් ඉතා උනන්දුවෙන් පර්යේෂණ කරමින් පවතී. මෙහි ප්‍රතිඵලයක් ලෙස හයිඩ්‍රජන් තාක්‍ෂණය ඉතා ආකර්ශනීය ලෙස ඉදිරියට එමින් පවතී. මෙහි උච්චතම සහ ආසන්නතම අවස්ථාව වන්නේ නුදුරු ආනගතයේදීම මහා මාර්ඝ වෙත අවතීර්ණ වන හයිඩ්‍රජන් වාහනයි. නමුත්, හයිඩ්‍රජන් තාක්‍ෂණය වාහන වලට පමණක් සිමා වූවක් නොවන අතර මහා පරිමාණ විදුලි උත්පාදනය මෙන්ම ජංගම උපකරණ යන ක්‍ෂේස්ත්‍රයන්ට මෙය නුදුරු අනාගතයේදීම විකාශනය වනු ඇත.

 

history_timeline_499x635

Figure 01: Fuel Cell Technology Development Timeline
                                  (Source :www.fuelcelltoday.com)

 මීළඟ ලිපිය: Fuel cell stack එකේ ක්‍රියාකාරිත්වය හඳුනා ගනිමු
(අද දින ලිපිය සඳහා මාතෘකාව වෙනස් කිරීමට සිදුවීම පිළිබඳව අමනාප නොවන්න. වඩාත් සුනම්‍ය ලෙසින් දැනුම ලබාදීම උදෙසා ඉතිහාසය සහ විකාශනය පිළිබඳව මුලින් සාකච්චා කිරීම වැදගත් යයි සිතමි.) 

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *