Home » විශේෂාංග » මෝටර් වාහන » ABS හඳුනා ගනිමු – ලිපි අංක 01

ABS හඳුනා ගනිමු – ලිපි අංක 01

හැඳින්වීම:

ABS හෙවත් Anti-lock Braking System කියන්නේ මෝටර් රථ වල යොදා ගන්නා ආරක්ෂක තිරිංග පද්ධතියක්. මෙම පද්ධතියේ සේවය අපට වැඩියෙන්ම අවශ්‍ය වෙන්නේ හදිසියේ තදින් තිරිංග තද කරන අවස්ථාවකදී. මෙලෙස ක්‍ෂණිකව තදින් තිරිංග තද කිරීමේදී රෝද සිරවිමකට ලක්වී වාහනය ලිස්සා යන්න පුළුවන්. විශේෂයෙන්ම, වැසි දිනයකදී හෝ හිම පතනයකදී වැනි අවස්ථාවකදී මෙලෙස වාහනය ලිස්ස්යා යාමේ ඉඩකඩ බොහොමත්ම වැඩියි. වාහනයයේ රෝද ලිස්සිමට පටන් ගත් විට රියදුරාට සුක්කානම කරකවා වාහනය පාලනය කරන්න හැකි වෙන්නේ නෑ. ඒ වගේම තමයි මෙවන් අවස්ථාවක වාහනය නවතා ගන්න යන දුර ප්‍රමාණය ලිස්සා නොයන අවස්ථාවක යන දුර ප්‍රමාණයට වඩා වැඩියි. මේ නිසා බරපතල අනතුරු ඇතිවීමේ අවධානමක් තියෙනවා. ABS පද්ධතිය මගින් සිදු කරන්නේ තිරිංග තද කිරීමකදී වාහනයේ රෝද හිරවීම වලක්වා වාහනය ලිස්සායාමට ඇති අවධානම වලක්වා ගැනීමයි.  මේ නිසා කෙටි දුරකදී වාහනය නතර කර ගත හැකි වනවා වගේම වහනය මනාව පාලනය කර ගන්නත් රියදුරු ට අවස්ථාව  ලැබෙනවා.

ඕස්ට්‍රේලියාවේ මොනාෂ් විශ්ව විද්‍යාලයෙන් සිදුකළ සමීක්ෂණයකදී හෙළිවී තියෙනවා ABS තිරිංග පද්ධතියක් වාහනයක ඇති විට වාහන එකිනෙක හා  ගැටීමෙන් අනතුරු සිදුවීමේ අවධානම 18% කින් සහ වාහනය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් පිටතට ලිස්සා ගොස් අනතුරු සිදුවීම අවධානම 35% කින් ද අඩු වන බව. මීට අමතරව, ඇමෙරිකාවේ Insurance Institute for Highway Safety (IIHS) නම් ආයතනය මගින් සිදු කල සමීක්ෂණයකදී සොයාගෙන තිබෙනවා ABS පද්ධතිය සහිත මෝටර් සයිකල් පැදවීමේදී මාරක අනතුරු ඇතිවීමේ අවධානම 37%කින් අඩු වන බව. මේ අනුව ABS පද්ධතියක වැදගත්කම ඔබට හොඳින් වැටහෙනු ඇති.

ABS පද්ධතියේ ඇති වැදගත්කම නිසාම 2007 වසරේ සිට යුරෝපයේ අලෙවි කරන සියලුම කාර් සඳහා ABS පද්ධතිය අනිවාර්න්ම තිබිය යුතු බවට නීති පනවා තිබෙනවා. මෙයින් තවත් ඉදිරියට යමින් ඇමෙරිකාව 2011 වසරේදී නීති සම්පාදනය කර තිබෙනවා ABS පද්ධතිය මෙන්ම Electronic Stability Control (ඉලෙක්ට්‍රොනික ස්ථායිතා පාලනය) පද්ධතියත් අනිවාර්යයෙන්ම කාර් වල තිබිය යුතු බවට.

ඉතිහාසය:

ABS පද්ධති ගැන කතා කරන විට අපිට නිතැතින්ම සිහියට නැගෙන්නේ මෝටර් රථ වුනත් මෙම තාක්‍ෂණය මුලින්ම හඳුනවා දී තියෙන්නේ ගුවන් යානා සඳහායි; ඒ 1929 තරම් ඈත අතීතයේ. ප්‍රංශ විසු මෝටර් රථ සහ ගුවන් යානා තාක්‍ෂණයේ විශේෂඥ දැනුමක් ඇත්තෙක් වූ ගබ්රියෙල් වොඉසින් තමයි මෙම තාක්‍ෂණය මුලින්ම හඳුන්වා දී තිබෙන්නේ (ඡායාරූප අංක 01). මෙම මුල් තාක්‍ෂණය අද මෙන් ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතා කර නිපදවූවක් නෙමෙයි. ජවරෝදයක් (flywheel) සහ හයිඩ්‍රොලික් වෑල් පද්ධතියක් මගින් තමයි මෙය ක්‍රියාත්මක වී තියෙන්නේ. ගුවන් නියමුවා හදිසියේ දැඩිව තිරිංග තද කරන අවස්ථාවකදී ගුවන් යානය ලිස්සා යාම වලක්වා ගැනීම සඳහා තමයි මෙය යොදාගෙන තියෙන්නේ.

GabrielVoisin

ABS තාක්‍ෂණය හඳුන්වා දුන් Gabriel Voisin

වර්ථමානයේ මෝටර් රථ සඳහා භාවිතා කරන පරිගණකගත ABS පද්ධතියේ ආරම්භය සනිටුහන් වන්නේ 70 දශකයේදී. පිටුපස රෝද සඳහා පමණක් වූ ABS පද්ධතියක් ෆෝර්ඩ් සමාගම විසින් Sure track නමින් 1970 වසරේදී හඳුන්වා දී තිබෙනවා. 1971 වසරේදී ඇමෙරිකාවේ ක්‍රයිස්ලර් (Chrysler) සමාගම මගින් සිය Imperial කාරය සඳහා ABS පද්ධතියක් යොදාගෙන තිබෙනවා. රෝද 4 සඳහාම වූ මෙම පද්ධතිය හඳුන්වා දී ඇත්තේ Sure Brake නමින්.  මීට අමතරව ඇමෙරිකාවේ General motors සමාගම මගින් ද 1971 වසරේදී ම trackmaster නමින් පිටුපස රෝද සඳහා පමණක් වූ ABS පද්ධතියක් සුප්‍රසිද්ධ කැඩිලැක්  කාර් සඳහා යොදාගෙන තිබෙනවා. මෙම වසරේ දීම ජපානයට ABS තාක්‍ෂණය හඳුන්වා දෙමින් නිසාන් සමාගම ද ABS තාක්‍ෂණය සිය President මෝටර් රථය සඳහා හඳුන්වා දී තිබෙනවා.

මෝටර් සයිකල් සඳහා ABS මුලින්ම යොදාගෙන තියෙන්නේ BMW සමාගම; ඒ 1988 වසරේදී සිය K100 මෝටර් සයිකලය සඳහා. මේ අනුව යමින් හොන්ඩා සමාගමත් සිය ST1100 මෝටර් සයිකලය සඳහා 1992 වසරේදී ABS තාක්‍ෂණය අන්තර්ගත කර තිබෙනවා. 2007 වසරේදී සුසුකි සමාගමත් සිය GSF1200 මෝටර් සයිකල සඳහා ABS හඳුන්වා දී තිබෙනවා.

මෙම ලිපියෙන් අපි ABS තාක්‍ෂණය ගැන මූලික හැඳින්වීමක් සහ එහි ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කළ අතර මීළඟ ලිපියෙන් ABS පද්ධතියක ක්‍රියාකාරිත්වය පිළිබඳව තාක්‍ෂණික විමසුමක යෙදෙමු.

විදුලොවින්

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *