Home » විශේෂාංග » මෝටර් වාහන » ABS හඳුනාගනිමු – ලිපි අංක 02

ABS හඳුනාගනිමු – ලිපි අංක 02

පළමු ලිපියෙන් ABS තාක්‍ෂණය පිළිබඳව කෙටි හැඳින්වීමක් සහ එහි ඉතිහාසය පිළිබඳව අධ්‍යයනය කළ බැවින් මෙම ලිපියෙන් ABS පද්ධතියක ක්‍රියාකාරිත්වය පිළිබඳව අපි අවධානය යොමු කරමු.

images

ABS System

ABS පද්ධතියක කාර්යභාරය වන්නේ තිරිංග තද කිරීමකදී වාහනය ලිස්සායෑම වැලැක්වීමයි. තිරිංග තද කරන විට වාහනයක් ලිස්සා යන්නේ තිරිංග පහරේ තදට වාහනයේ රෝද සිරවිමකට (lock වීමකට) ලක්වන නිසයි. රෝද කැරකෙනවා නම් ලිස්සා යන්නේ නැහැ. ABS මගින් සිදු කරන්නේ රෝද සිරවීම වළක්වා වාහනය ලිස්සා යන එක වැලැක්වීම. Anti- lock යන්නේ අරුතද සිරවීමට එරෙහි යන්නයි.මෙම කාර්යය සිදු කිරීමට නම්, මුලින්ම රෝද ලිස්සීමකට ආසන්නද කියන දෙය ABS පද්ධතියේ පාලක ඒකකයට තේරුම් ගැනීමට සිදුවෙනවා.

යම් රෝදයක් ලිස්සිමකට ලක්වී ඇතිනම්, එහි කැරකීම සම්පුර්ණයෙන්ම නැවතීමට මොහොතකට පෙර එහි වේගය ඉතා සීග්‍ර ලෙස අඩාල වෙනවා. නිරතුරුව වාහනයේ රෝද වල වේගය නිරීක්‍ෂණය කරමින් සිටින ABS පද්ධතියට මෙසේ එක්‌ රෝදයක සිදුවන අසාමාන්‍ය සීග්‍ර වේග අඩාල වීමක් ක්‍ෂණිකව තේරුම් ගැනීමේ හැකියාව තිබෙනවා. මේ අනුව, යම් රෝදයක් ලිස්සා යාමට ඉතා ආසන්න මොහොතක් පාලක පද්ධතියට හඳුනාගන්න හැකි වෙනවා. ABS පද්ධතියේ මීළඟ කාර්යය තමයි මෙසේ ලිස්සා යාමට ආසන්න රෝදය ලිස්සා යෑම වැලැක්වීම.

ලිස්සා යෑම වැලක්වීමට කළ හැකි හොඳම දෙය එම රෝදයට නිදහසේ කරකැවීමට ඉඩ හැරීමයි. රෝදයට නිදහසේ කරකැවීමට නම් එය නැවත්වීම සඳහා තිරිංග මගින් යොදා ඇති බලය අඩු කල යුතුයි. රෝදය මත යෙදෙන තිරිංග පහරේ බලය තීරණය වන්නේ තිරිංග තරලයේ (brake fluid) පීඩනය මත. වෙනත් විදියකින් කිව්වොත්, හයිඩ්‍රොලික් ප්‍රෙෂර් එක අනුව. මේ නිසා, ABS පාලන පද්ධතිය මගින් මෙම හයිඩ්‍රොලික් පීඩනය අඩු කරනවා. මෙවිට රෝදය මත ඇති තිරිංග බලය අඩුවී රෝදය යලිත් කැරකීමට පටන් ගන්නවා. මෙමගින් රෝදයේ ලිස්සා යාම වළක්වනවා. ඔබ තිරිංග පැඩලය දැඩිව තදකරගෙන සිටියත් පාලක පද්ධතිය පීඩනය අඩු කිරීම සිදු කරනවා. ඔබට ඒ  ගැන කරදර වන්න දෙයක් නැහැ.

හැබැයි, වැඩි වෙලාවක් හයිඩ්‍රොලික් පීඩනය අඩු කරගෙන සිටියොත්, එම රෝදයේ වේගය බොහෝ සෙයින් වැඩි වෙනවා (වාහනයේ වේගයට අනුව). එහෙම වුනොත් වාහනය නවතාගන්න බැරි වෙනවා. පාලක පද්ධතියට මෙම වේගය වැඩි වීමත් තේරුම් ගන්න හැකියාව තිබෙනවා. එසේ තේරුම්ගෙන, වේගය වැඩි වූ විට හයිඩ්‍රොලික් පීඩනය වැඩි කිරීම මගින් යලිත්  රෝදය මත යෙදෙන තිරිංග පහරේ බලය වැඩි කර එහි වේගය යලිත් අඩාල කරනවා.

රෝදය මත යෙදෙන තිරිංග පහරේ බලය යලිත් වැඩි වූ විට එම රෝදය නැවත ලිස්සා යාමකට ආසන්න වෙනවා. මෙවිටත් පෙර පරිදිම පීඩනය අඩු කර ලිස්සා යාම වළක්වනවා. යලිත් වේගය වැඩි වූ විට පෙර ලෙසින්ම පීඩනය නැවත වැඩි කර වාහනය නවතා ගන්න උත්සාහ කරනවා.

මේ ආකාරයට රෝදයේ ලීස්සිම සම්පුර්ණයෙන්ම නවතින තුරු පීඩනය අඩු වැඩි කිරීම සිදු කරනවා. සාමාන්‍යයෙන් ABS පද්ධතියකට තත්පරයකට 15 වරක් පමණ මෙලස පීඩනය අඩු වැඩි කිරීම සිදු කළ හැකියි. ඔබ තිරිංග තද කරන විට වාහනයේ ABS පද්ධතිය ක්‍රියාත්මක වුනොත්, තිරිංග පැඩලය මත ඇති  ඔබේ පයට ස්පන්ද (pulse) ආකාරයට මෙම පීඩන අඩු වැඩි කිරීම හොඳින් දැනෙනවා.

මේ ලිපියෙන් ඔබට ABS පද්ධතියක ක්‍රියාකාරිත්වය පිළිබඳව යම් අවබෝධයක් එන්න ඇතැයි විශ්වාස කරමි. මීළඟ ලිපියෙන් මෙම කාර්යය කිරීම සඳහා ABS පද්ධතිය යොදා ගන්නා උපාංග ගැන අවධානය යොමු කරමු.

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *