Home » හෙට ලොව තාක්‍ෂණය » දෙපා වාරු දෙන රොබෝ ඇඳුම

දෙපා වාරු දෙන රොබෝ ඇඳුම

අංශභාග වැළඳුන රෝගීන්ට යම් අස්වැසිල්ලක් සපයන රොබෝ ඇඳුමක් නිර්මාණය කිරීමට ජපාන පර්යේෂකයින් පිරිසක් සමත්වී සිටී. Hybrid Assistive Limb යන වදන කෙටි කොට එන HAL ලෙසින් හැඳින්වෙන මෙම රොබෝ ඇඳුමට  යාන්ත්‍රික පාද  තිබෙනවා. මේ නිසා, මෙය පැළඳගෙන ඇවිදීමට අංශභාග රෝගීන්ට අනාගතයේදී හැකි වේවි.

මේ වනවිට මෙම ඇඳුම ජර්මනියේ Centre for Neurorobotic Movement Training ආයතනයේදී අංශභාග රෝගීන් යොදාගෙන පරික්ෂා කෙරෙනවා. සුෂුම්නාවට හානි පැමිණුනු රෝගීන් යොදාගෙන සිදුකල පරීක්ෂණ මේ වනවිටත් සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති අතර අනෙකුත් අංශභාග රෝගීන්ට මෙහි සාර්ථකත්වය පරික්ෂා කිරීම තවදුරටත් කෙරීගෙන යන බවයි සඳහන් වන්නේ. මේ සියලුම පර්යේෂණ සාර්ථක වුනොත්, එය රෝගීන්ට මහත් සැනසිලිදායක ප්‍රවෘතියක් මවනු නොඅනුමානයි.

img1සාමාන්‍යයෙන් අපට අපගේ අතක් හෝ පයක් සෙලවීමට අවශ්‍ය විටකදී අපේ මොළයෙන් ඒ සඳහා අවශ්‍ය කරන සංඥාවක් අපගේ ස්නායු පද්ධතිය හරහා අතේ  හෝ පයේ මාංශපේශි වෙත යොමු කරනවා. මෙවිටයි අවශ්‍ය චලනය සිදු කළ හැකි වන්නේ. මෙම සංඥා motor commands ලෙසිනුයි හඳුන්වන්නේ. නමුත්, අංශභාග රෝගියෙකුගේ ස්නායු ක්‍රියාකාරිත්වය නිසි අයුරින් සිදුවන්නේ නැහැ. මේ නිසා, මොළයෙන් නිකුත් කරන මෙම motor commands නිසි ලෙස අවයව වෙත ගමන් කරන්නේ නැහැ. මෙන්න මේ නිසයි අංශභාග රෝගීන්ට ඇතැම් අවයව නිසි ලෙස සෙලවීම සිදු කළ නොහැක්කේ.

කෙසේ වෙතත් මෙම HAL  රොබෝ ඇඳුමට පුළුවන් රෝගියාගේ මොළයෙන් නිකුත් කරන motor commands කියවන්න. එහෙම කරන්නේ රෝගියාගේ සමට සවිකර ඇති සෙන්සර් පද්ධතියක් මාර්ගයෙන්. මෙලෙස කියවන motor commands භාවිතා කර සිය යාන්ත්‍රික පාද හසුරවන්නට මෙම රොබෝවට හැකියාව තිබෙනවා.

නවීන තාක්‍ෂණයේ තවත් අපුර්ව නිර්මාණයක් වූ HAL ට අංශභාග රෝගින්ගේ හෙට දවස එළිය  කරන්නට හැකි වේවි.

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *