ලෝකයේ දැනුම ගමට ගෙනයන අන්තර්ජාල තක්සලාව

ගසක කොළයක් බඳු කෘතීම කොළය

22

ගසක පත්‍රයක ක්‍රියාවලිය අනුකරණය කරමින් කෘතීම පත්‍රයක් නිපදවීමට පර්යේෂකයින් පිරිසක් සමත්වී තිබෙනවා. රූපසටහන් අංක 1 හි ඇති ඡායාරූපයේ තිබෙන්නේ එම කෘතීම පත්‍රය.  ස්වභාවික ගසක කොළයකට මෙන් මෙයටත් පුළුවන් වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් නිපදවන්න. ඒ සඳහා මෙයට අවශ්‍ය වෙන්නේ සුර්යාලෝකය සහ ජලවාෂ්ප ස්වල්පයක් විතරයි.

මෙය නම් කර තියෙන්නේ Silk Leaf කියල. මෙය නිපදවා තියෙන්නේ එංගලන්තයේ Royal College of Art හි අධ්‍යාපනය හදාරන Julian Melchiorri විසින්. ඔහු මේ පර්යේෂණ සිදුකර තිබෙන්නේ ඇමෙරිකාවේ Tufts University නම් විශ්ව විද්‍යාලය සමග එක්ව වැඩ කිරීමෙන්.

artificial leaf
                                                                                       රූපසටහන් අංක 1


ජුලියන් ගේ අරමුණ වී තියෙන්නේ අභ්‍යවකාශ චාරිකා වල යෙදෙන ගගන ගාමීන් ස්වශනයේදී පිට කරන කාබන් ඩයොක්සයිඩ් වායුව ප්‍රයෝජනවත් ලෙස භාවිතා කිරීම සඳහා ක්‍රමයක් සොයා ගැනීමයි. මේ නිර්මාණය එහි ප්‍රතිඵලයක්.

කොහොම වුනත් මේ නිර්මාණය ගගනගාමීන් සඳහා පමණක් නෙමයි, පෘථිවිය මත සිදුවන වායු දුෂණය යම් ප්‍රමාණයකට මැඩලන්නත් යොදා ගන්න පුළුවන්. ජනාකීර්ණ නගරයක තියෙන ගොඩනැගිලි ඉදිකිරීමේදී මේ ද්‍රව්‍යයෙන් තැනු බිත්ති ආවරණ වැනි දේ නිර්මාණය කලොත්, පරිසරයේ තියෙන අධික කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ඒ වෙනුවට ඔක්සිජන් සම්පාදනය කරන්න හැකි වෙනවා. ඒ වගේමයි ගෘහ අලංකරණ භාන්ඩත් මේ ද්‍රව්‍යය භාවිතා කරලා නිපදවන්න පුළුවන්. එහෙම වුනොත් නිවසේ ඇතුලත වායුගෝලයේ ඔක්සිජන් මට්ටම යහපත් අගයක පවත්වා ගන්නත් මෙයට පුළුවන් වෙනවා. හැබැයි ඉතින්, මේ ඔක්කොම බඩු ටික රෑට එළියෙන් තියන්න වෙයිද දන්නේ නෑ.

අවිවාදයෙන්ම මෙය බොහොම අපුරු සොයා ගැනීමක්. හැබැයි ඉතින් මේක ස්වභාවික ගසක් වෙනුවට ආදේශකයක් නම් නෙමෙයි. සොබා දහමේ නිර්මාණයක ක්‍රියාකාරීත්වය අණුකරණය කරන්න පුළුවන් වුනත් සොබා දහමේ නිර්මාණයක තියෙන ආශ්වාදනීය බව නම් කෘතිමව නිපදවූ කිසිවකට අනුකරණය කරන්න බැහැ. ඒ දෙකේ වෙනස සොබා දහමට ආදරය කරන කෙනෙකුට බොහොම ලේසියෙන් දැනෙනවා.

Leave A Reply

Your email address will not be published.