Home » විශේෂාංග » මෝටර් වාහන » පරිගණක සහ නුතන වාහන

පරිගණක සහ නුතන වාහන

නූතන දියුණු වාහනයක මිලියන 100ක පමණ පරිගණක දත්ත ඇති සමීකරණ (Computer codes) ඇති බව ඔබ දන්නවාද? එවැනි වාහනයක, සමහර ජෙට් ප්‍රහාරක යානාවකට වඩා පරිඝනක තාක්ෂනය ගැබ්ව තියෙන බව සත්‍යයක්. ඇත්තටම කොම්පියුටර 30ක් හෝ සමහර විට 100 ක් පමණ වාහනයක තියෙන්න පුළුවන්. මෙතන කොම්පියුටරයක් කියන්නේ සාමාන්‍යයෙන් ඔබට දකින්න ඇති කොම්පියුටර නොවේ. එහෙත් කිසියම් විධානයකට ප්‍රතිචාරයක් දක්වන ඒ වෙනුවෙන්ම ඇරුණු කොම්පියුටරයක්. මේ කොම්පියුටර වලට ඉංග්‍රීසියෙන් microprocessor-controlled devices හෝ sensors කියා කියනවා. මේවායේ අපි එදිනෙදා කාර්යාලවල හෝ ගෙවල්වල දකින කොම්පියුටර් වලට වඩා වෙනසක් තියෙනවා. එනම් මේ කොම්පියුටර් වලට කරන්න හැක්කේ සීමිත වැඩ කොටසක් පමණයි. එහෙත් එය ප්‍රමාණවත් වෙනවා. අපි එයට කියන්නේ, Dedicated microprocessor-controlled devices කියා.

උදාහරණයක් වශයෙන් අනාරක්ෂිත රේල් පාරක ගේට්ටුව හසුරුවන්නෙක් ගැන හිතන්න. ඔහු වෙලාව දැන පරීක්ෂාවෙන් ඉන්නේ. ඒ මදිවාට ඔහුට ඊයේ කොච්චිය ආපු වෙලාව ගැන මතකයක් තියෙනවා. ඒ වෙලාවට ඔහු ගේට්ටුව වහනවා. ඔහුට කෝච්චියේ ශබ්දය මුලින් ඇහෙනවා. ඊළඟට කෝච්චිය ඒ ස්ථානය පසු කර යනවා. කෝච්චිය ගිය පසු, අනෙක් වාහන වලට යන්නට, ඔහු අවසානයේ ගේට්ටුව අරිනවා. බලන්න, මේ ක්‍රියාදාමය සහ ඔහුගේ කාර්ය භාරය ඉතා සරළයි. අන්න ඒ වාගේ සරළ විධාන වලට ක්‍රියා කරන්න වාහනයේ කොම්පියුටර නිර්මාණය කර තියෙනවා කියා දැනට හිතන්න. හැබැයි, ඔහු කෝච්චිය එන විට ගේට්ටුව වැහුවේ නැත්නම් මොනවා වේවිද ? ඒ දේ ඊළඟ ලිපියෙන් සාකච්චා කරමු.

අපි, මේ ළිපිය කෙටි වන්නට, මේ පරිඝනක වලට ‘යන්ත්‍ර’ කියා කියමු. වාහන වල කොම්පියුටර ගැන කිසිම දෙයක් දන්නේ නැති අයට මේ ළිපිය ලිය වෙනවා. ඉතින්, මේ යන්ත්‍ර වාහනයේ ඇති බොහෝ දේ වලට සම්බන්ද වෙනවා. කෘස් කොන්ට්‍රෝල්, බ්රේක්, වාහනයේ නියම ධාවන වේගය, රේඩියෝව, ජ්වලන පද්ධතිය වැනි එකී නොකී මෙකී සියලුම පාහේ ක්‍රියාවලට මේ යන්ත්‍ර සම්බන්ද වෙනවා. අපි එක උදාහරණයක් ගනිමු. මුල් කාලයේ මෙන් දැන් ඇක්සලේටරය සිට එන්ජිමේ බලය අඩු වැඩි කිරීමට ඉන්ධන පාලනය කරන්න බොහෝ වාහන වල කේබල් නැහැ. මේ කාලයේ ඇක්සලරෙටරය කකුලෙන් තද කරන විට, ඔබ එයින් රේඩියෝවක හඬ වැඩිකරන වොලියුම් කොන්ට්‍රෝලයක් වගේ දෙයක් කරකවනවා. ඒ සඥාව කිසියම් යන්ත්‍රයකට යොමු කරනවා. එම යන්ත්‍රයෙන් තවත් එසේම ලැබෙන වෙනත් සඥා කිහිපයක් සමඟ සසඳා , Throttle body එකට විධානයක් දෙනවා. මෙහි ඇති විශේෂ වාසි හෝ වාසි මොනවාද?

මුල් කාලයේ වාහනේ වේගය වැඩි කරන්න ඕනා නම්, කාර්බියුරේටරයේ වායුව එන දොරක් අරිනවා. එවිට එම දොරෙන් යන සුළං පහරේ වේගයට අනුකූලව පෙට්‍රල් වාෂ්ප වී එන්ජිම ඇතුලට යනවා. (කරුණාකර කාර්බියුරේටරයේ ක්‍රියාත්මක වීම පිළිබඳ මුල් ළිපි බලන්න.) මෙතනදී වෙන කිසිම සාධකයක් බලන්නේ නැහැ. හුදෙක් රියදුරා පමණක්ම වාහනයේ ගමනට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය තීරණය කරනවා. මෙය නිවැරදි නොවේ. යන්ත්‍රයක් භාවිතා කලොත්, වෙනත් සාධක හා සසඳා එය ඉතා නිවැරදිව කරන්නට හැකි වෙනවා. උදාහරණයක් විදියට වාහනයේ එන්ජිම ඇතුලට නිවැරදිව සුළං මගින් එන ඔක්සිජන් ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඔබ දන්නවා පෙට්‍රල් සහ වායුව මිශ්‍ර වන ප්‍රශස්ත අනුපාතය 1: 14.7 යන්න ඉහත කී යන්ත්‍රය මගින් දිගටම තියා ගන්නවා. අර මුල් ක්‍රමය, ඒ කියන්නේ කේබල් එකකින් එන්ජිමට එන පෙට්‍රල් ප්‍රමාණය වෙන දේවල් මත බලපාන්නේ නැති නිසා, ඉහත අනුපාතය වෙනස් වී වාහනයේ කාර්යක්ෂමතාවය අඩු වෙන්න පුළුවන්.

EMS

පෙට්‍රල් වාහනයක එන්ජින් පාලන පද්ධතියේ (Engine Management System) කොටස් කිහිපයක්

හැබැයි මේ වගේ යන්ත්‍ර භාවිතයේ වෙන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. කිසියම් වැරදි විධානයක් නිසා එක් සඥාවක් වැරදියට හඳුනා ගැනීම නිසා වාහනයේ වේගය රියදුරාට පාලනය කල නොහකි සේ වැඩි වන්න පුළුවන්. එහෙම වූ අවස්ථා වාර්තාගත වී තියෙනවා. ඔබට සමහර විට මතක ඇති කලකට පෙර ඇමරිකාවේ බොහෝ ටොයෝටා වාහන නැවත මොඩිෆයි කරන්න වුනා. මේ නිසා ඉහත කී යන්ත්‍ර සහ ඒ සඳහා අවශ්‍ය මෘදුකාංග නිර්මාණය අතිශයින් සංකීර්ණ වෙනවා. මක්නිසාදයත්, වාහනයේ සහ එහි ගමන් කරන්නන් ගේ ආරක්ෂාවට මුල් තැන දිය යුතු නිසායි.

කොම්පියුටරයක ඉතාම සරළ වශයෙන් කිවහොත්, කොටස් දෙකක් තියෙනවා. එකක් ඔබට පෙනෙන්න ඇති දේ. එයට අපි ඉංග්‍රීසියෙන් හාර්ඩ් වෙයාර් (Hardware) කියනවා. උදාහරණයක් වශයෙන් කී බෝර්ඩ් එක, හාර්ඩ් ඩ්රයිව් එක හෙවත් දෘඩ තැටිය, මොනිටරය, මවුස් එක වැනි දෑ ඒ Hardware වෙනවා. අනෙක් දේ එම කොම්පියුටරයට කවා ඇති දත්ත ආශ්‍රයෙන් ක්‍රියාත්මක වන විධාන පද්ධතිය. එයට අපි ඉංග්‍රීසියෙන් සොෆ්ට් වෙයාර් (Software) කියා කියනවා. පොදුවේ මේ සඳහා උදාහරණයක් ගනිමු. ඔබ ස්මාර්ට් ෆෝන් එකක් ගන්නවා. දැන් ඒ ස්මාර්ට් ෆෝන් එක , ඒ කර්මාන්ත ශාලාවේ නොයෙක් කෑලි වලින් නිර්මාණය කර තියෙනවා. එය එම මොඩලයේ අවසාන නිර්මාණය කියා හිතමු. ඒ කියන්නේ, එම ෆෝන් එක තනන Production line එක සෙට් කරලා තියෙන්නේ. අතර මඟදී එය වෙනස් කරන්න බැහැ. ඉතින් ඒ ස්මාර්ට් ෆෝන් එක දැන් ඒ කර්මාන්ත ශාලාවෙන් නිෂ්පාදනයෙන් පසු විකුනණවා. දැන් මේ ෆෝන් එකේ ප්‍රශ්නයක් තියෙනවා නම්, නැවත එය එම කර්මාන්ත ශාලාවට ගෙන ගොස් ප්‍රායෝගිකව හදන්න බැහැ. මෙන්න මේ වගේ අවස්ථාවක් ආවොත්, එම Hardware වෙනස් නොකර, ස්මාර්ට් ෆෝන් එකේ මෘදුකාංග වෙනස් කර එම ෆෝන් එකේ ඇති වූ අවුල හදා ගන්න පුළුවන්. අපි එයට ඉංග්‍රීසියෙන් Software upgrade එකක් කරනවා කියා කියනවා. දැන් ඔය කියන ෆෝන් එක ජනප්‍රිය වගේම හොඳින් විකිනෙන එකක් නම්, එය නිර්මාණය කල ඉංජිනේරුවන් එය විකිණෙන එක පටන් ගත් විට නිකම් ඉන්නේ නැහැ. ලොව දස දෙසින් එන නා නා ප්‍රකාර පැමිණිළි දෙස ඔවුන් සිත් යොමු කරනවා. මුලින් කිව් පරිදි ඒ ෆෝන් එකේ නිර්මාණ දෙකක් තියෙනවා. එය අපි ඉංග්‍රීසියෙන් කිවහොත්, Hardware සහ Software යන දෙකයි. මෙතනදී ඔය Hardware නිර්මාණය කල අය විවේකයක් ගත්තත් , Software නිර්මාණය කල අය විපරමෙන් ඔය ෆෝන් එක දෙස බලා ඉන්නවා. ප්‍රශ්නයක් ඇත්නම්, ඔවුන් ඒ Software එක වෙනස් කරනවා. එසේ වෙනස් කර ෆෝන් එකේ ඇති ප්‍රශ්නය නිරාකරණය කරනවා. ඉතින් අර කිව් Hardware වලට අත ගහන්නේ නැතිව අවුල ලිහා ගන්න පුළුවන්. අන්තර් ජාළයට සම්බන්ද වී සමහරවිට ඔබටම ඒ අළුත් මෘදුකාංගය ඒ ෆෝන් එකට දමා ගන්න පුළුවන්. එයට ඉංග්‍රීසියෙන් කියන්නේ, ‘Software upgrade’ කරනවා කියායි.

කලාතුරකින් Hardware upgrade කරන වෙලාවල් තියෙනවා. එහෙත් එය දුර්ලභයි. මක්නිසාද යත් එය කිරීම ‘Software upgrade’ කරනවාට වඩා මිළෙන් වැඩි වන නිසා. ඉහත දේ වෙනත් ප්‍රායෝගික ක්‍රමයකින් කියන්නම්. අපි රුපවාහිණී ආයතනයක භාවිතාවන ඉහළ තලයේ ලෝක ප්‍රසිද්ධ කැමරාවක් ගනිමු. එහි කිසියම් අවස්ථාවක ඇත්තේ එක්තරා මෘදුකාංග තලයක් (Software version) පමණයි. අපි කියමු ඒ තලය මෘදුකාංග අවස්ථා 3.5 කියා. මේ අතර, එම ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවන් විසින්, ලෝකයේ නන් නන් දෙසින් ලැබෙන වාර්ථා අනුව, ඉහත මෘදුකාංග 3.5 තලයේ ඇති සමහර අවුල් තේරුම් ගෙන අළුත් මෘදුකාංගයක් තනනවා මෘදුකාංග 4.0 ලෙස. එය ඔවුන් එම ආයතනයේ ඒජන්ත වරුන්ට දැනුම් දෙනවා. එම එජත්ත වරුන්, එම කැමරාවට අලුත්ම ‘Software upgrade’ එක ලෝර්ඩ් කරනවා.

වාහනයක වන්නේත් ඔය සංසිද්ධියමයි. ඉහත උදාහරණ දෙක ගැන ලිව්වේ, එකම වැනි තලයක (Technological platform) වෙනස් තාක්ෂණික උපක්‍රමයන් දෝලනය වන ආකාරය පෙන්වන්නයි. කෙසේ වුවත්, සාමාන්‍යයෙන් වාහනයක Software upgrade කරන එක අද දිනයේ ඔය ඉහත කියූ ආකාරයට රියදුරාට ලෙහෙසියෙන් අප්ඩේට් කර ගන්න බැහැ. හැබැයි, මේ තත්වය අනාගතයේ වෙනස් වෙන්න පුළුවන්. මේ ක්‍රමයේ අතරමැදි අවස්ථාවක් තියෙනවා. එනම්, ඔබ වාහනයේ ප්‍රශ්නයකට එය ගරාජයකට ගෙන ගිය විට, ඔබේ ප්‍රශ්නය එම කාර්මිකයාට කියූ විට Scanner නමින් හැඳින්වෙන යන්ත්‍රයක් වාහනයට සවි කරනවා ඔබ සමහරවිට දැකලා ඇති. එයින්, වාහනයේ ඔබ අත් විඳි ප්‍රශ්නය එයින් සොයා ගැනීම මෙන්ම, නිරාකරණය කරගන්නත් හැකි වේවි.

දැන් ඔබට පෙනෙන්න ඕනා, වාහනයක කොම්පියුටර වලින් කෙරෙන කාර්යය කුමක්ද කියා. මේ තරම් කොම්පියුටර් සම්බන්ද වෙන්නේ , ඒවා ඉතාමත් කාර්යක්ෂමව තමාගේ කාර්යය කරන නිසා. මෙය වාහන වල පමණක් පොදු දෙයක් නොවේ. හැම ක්ෂේත්‍රයකටම කොම්පියුටර සම්බන්ද වෙනවා. ඉහත උදාහරණ දෙකකින් එය පෙන්වාදී තියෙනවා. ඉහත කිව් Software upgrade එක සම්බන්ද වෙනවා. විශේෂයෙන් අනාගතයේ අපිට දකින්නට ලැබෙන විදුළි මෝටර් රථවල මේ ආකාරයට කොම්පියුටර් වල සම්බන්දය ඔබට බොහෝ දුරට දකින්නට ලැබේවි.

ඉහත ලියූ පෝස්ට් එකක, පැරණි බෙන්ස් බසයක් ඔබ දකින්න ඇති. ඒවායේ සිට, අද දකින්න ඇති නූතන බස් හෝ ට්‍රක් රථවල ඇති විශේෂම වෙනස, බොහෝ සාධක කොම්පියුටර, ඒ හා සම්බන්ද සෙන්සර්ස් හෝ මුලින් කිව්වා වගේ “ Dedicated microprocessor-controlled devices “ තිබීමයි. හැබැයි මේ වාගේ ඉලෙක්ට්‍රොනික කොටස් තිබීම නිසා, වාහනයේ විද්‍යුත් සඥා ගෙනයෑමට ලොකු සන්නායක ගොඩක් අවශ්‍ය වෙනවා. එය අඩු පාඩුවක්. අන්න ඒවා අඩු කරන්නේ කොහොමද කියා අපි පසුව සාකච්චා කරමු. ඉතින් කොම්පියුටරයක් හැක් කරනවා වගේ, වාහනයක් හැක් කරන්න බැරිද? කොම්පියුටර සීයක් ඇති වාහනයක් කියන්නේ, වාහනයකට වඩා එය කොම්පියුටරයක් නේ? ඒ සඳහා කල හැකි (හැක් කරන කෙනෙක්ට,) Reverse engineering යන ක්‍රම සහ මේ කොම්පියුටර් ක්‍රම වල ඇති අඩු ලුහුඬුකම් ගැන,ඊළඟ ළිපියේ සාකච්චා කරමු.

ලලිත් කරුණාරත්න 

(වෙබ් සඟරාවේ පළවන නවතම ලිපි ගැන ඊමේල් මගින් දැනුවත් වෙන්නේ සාමාජික අයදුම්පත පුරවා විදුලොවින් සාමාජිකත්වය ලබා ගන්න)

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *