Home » විශේෂාංග » බලශක්ති » කෘෂිකාර්මික අපද්‍රව්‍ය වලින් ඉන්ධන නිපදවන ඉතාලිය

කෘෂිකාර්මික අපද්‍රව්‍ය වලින් ඉන්ධන නිපදවන ඉතාලිය

ෆොසිල ඉන්ධන (පෙට්‍රල්, ඩීසල්, ගල් අඟුරු වැනි) භාවිතය කෙරෙහි මිනිසාගේ දැඩි ඇබ්බැහිවිමක් අපට දකින්නට ලැබෙනවා. සෑම බලශක්ති අවශ්‍යතාවයකටම වගේ, සෘජුවම හෝ වක්‍රව, අපේ පිහිටට හිටියේ මේ ෆොසිල ඉන්ධන. නමුත්, සීග්‍රයෙන් ඉහල යන ලෝක බලශක්ති ඉල්ලුමට සරිලන සැපයුම ලබා දිය නොහැකි වීම, අධික පරිබෝජනය නිසා පොසිල ඉන්ධන සීග්‍රයෙන් ක්ෂයවී යාම මෙන්ම පොසිල ඉන්ධන දහනයෙන් සිදුවන දැවැන්ත පාරිසරික හානිය වැනි කාරණා හමුවේ මේ වන විට විකල්ප බලශක්ති කෙරෙහි ලෝකයේ විශේෂ අවධානය යොමුවී තිබෙනවා.

මෙම විකල්ප බලශක්ති අතර ඇති එක් බලශක්ති ප්‍රභවයක් වන්නේ ජීව ඉන්ධන යි (bio fuel). ජීව එතනෝල් (bio ethanol), ජීව ඩීසල් (bio diesel) ඇතුළු ඉන්ධන වර්ග රාශියක් මෙම ජීව ඉන්ධන ගණයට ඇතුලත් වනවා. මෙම ඉන්ධන මෝටර් රථ සඳහා, එනම් ප්‍රවාහන කටයුතු සඳහා, භාවිතා කරන්න පුළුවන්. ජීව ඉන්ධන නිෂ්පාදනයේ එක් ප්‍රධාන ඉලක්කයක් වන්නේ ප්‍රවාහන ක්ෂේස්ත්‍රයයි. එයට හේතුව වන්නේ ප්‍රවාහන ක්ෂේස්ත්‍රය විශාල වශයෙන් ඉන්ධන පරිබෝජනය කරන ක්ෂේස්ත්‍රයක් වීම. උදාහරණයක් ලෙස, ඇමෙරිකාවේ සමස්ත ඉන්ධන පරිබෝජනයෙන් 30%ක් පමණ වෙන් වන්නේ ප්‍රවාහන ක්ෂේස්ත්‍රය සඳහායි.

IMG 1

ඡායාරූප අංක 1: ඉතාලියේ ජීව ඉන්ධන නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව

අනාගත ගොඩබිම් ප්‍රවාහන කටයුතු සඳහා විදුලි වාහන, හයිඩ්‍රජන් වාහන වැනි දේ මේ වන විට නිපදවමින් තිබුනත් අපිට එකවරම දැනට භාවිතා කරන අභ්‍යන්තර දහන එන්ජින් වාහන වලින් සම්පුර්ණයෙන්ම නිදහස් වෙන්න පුළුවන් කමක් ප්‍රායෝගිකව නැහැ. ඒ නිසා තව බොහෝ කාලයක් මෙම අභ්‍යන්තර දහන එන්ජින් සහිත වාහන භාවිතා කරන්න සිදුවෙනවා. එම වාහන සඳහා වඩා යහපත් ඉන්ධනයක් ලෙස ජීව ඉන්ධන භාවිතා කරන්න පුළුවන්.

ජීව ඉන්ධන ක්ෂේස්ත්‍රයේ සුවිශේසී කඩඉමක් සනිටුහන් කරන්නට ඉතාලිය සමත් වී තියෙනවා. ඉවතලන කෘෂිකාර්මික අපද්‍රවය භාවිතා කර වාණිජ මට්ටමෙන් ජීව ඉන්ධන නිෂ්පාදනය කරන ලොව ප්‍රථම කර්මාන්ත ශාලාව විවෘත කරන්න ඉතාලිය පසුගිය වසරේදී සමත් වුනා (2013). මෙහි ඡායාරූප අංක 1 න් පෙන්වන්නේ එම කර්මාන්ත ශාලාව. තවත් මෙවැනි කර්මාන්ත ශාලා තුනක් පිහිටවීමට ද ඉතාලිය සැලසුම් කර තිබෙනවා.

මෙම කර්මාන්ත ශාලාව මගින් ජීව ඉන්ධන නිෂ්පාදනය සඳහා යොදා ගන්නේ තිරිඟු ගස් (තිරිඟු නෙලා ගත පසු ඉතිරි වන ගස), පිදුරු, සහ උක් ගස් විශේෂයක්. ඡායාරූප අංක 2 න් පෙන්වන්නේ මෙම කෘෂිකාර්මික අපද්‍රව්‍ය ගබඩාවක්. ඉන්ධන නිෂ්පාදනය සඳහා භාවිතා කරන්නේ ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය කොටස් ඉවත් කර ගත පසු ඉතුරු වන අපද්‍රව්‍ය බැවින් මෙමගින් ආහාර නිෂ්පාදනයට තර්ජනයක් වන්නේත් නැහැ. නමුත් ගොවියාගේ ආකල්ප මත එය ආහාර නිෂ්පාදනයට බලපෑමක් සිදු කිරීමේ හැකියාවද නැතිවාම නොවේ. උදාහරණයක් ලෙස, වගාවේ අපද්‍රව්‍ය වලින් අමතර මුදලක් සෙවීමේ අරමුණින් සෑම ගොවියෙක්ම ඉහත සීමිත බෝග පමණක් වැවීමට පටන් ගතහොත් එය සමස්ත ආහාර නිෂ්පාදනයට ඉතාම අහිතකර අයුරින් බලපානු ඇත. කෙසේ වෙතත්, මෙය ඉතාම සංකීර්ණ මාතෘකාවක් වන අතර එය සම්බන්ධව සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ.

IMG 2

ඡායාරූප අංක 2: කෘෂිකාර්මික අපද්‍රව්‍ය ගබඩාවක්

පෙට්‍රල්, ඩීසල් ආදිය සම්පුර්ණයෙන්ම ප්‍රතිස්ථාපනය (replace) කිරීමට ජීව ඉන්ධන වලට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි, ප්‍රවාහන ක්ෂේස්ත්‍රයේ තිබෙන සමස්ත බලශක්ති සැපයුම ජීව ඉන්ධන මගින් පමණක් සපයන්න හැකියාවක් ලැබෙයි කියා සිතන්නත් බැහැ. මේ නිසා හයිඩ්‍රජන් ඉන්ධන වැනි විකල්ප බලශක්ති වෙත යොමු වීමට ප්‍රවාහන ක්ෂේස්ත්‍රයට අනිවාර්යයෙන්ම සිදු වේවි. නමුත්, අනාගත ලෝකයේ යහ පැවැත්ම වෙනුවෙන් සාධනීය සේවයක් කිරීමට ප්‍රමාණවත් වූ හැකියාවක් ජීව ඉන්ධන සතුව ද ඇති බව සනිටුහන් කරමින් මෙම ලිපිය අවසන් කරමි.

පසු සටහන:

ජීව ඉන්ධන පරම්පරා (generation) තුනක් තිබෙනවා: පළමු පරම්පරාවේ ඉන්ධන, දෙවන පරම්පරාවේ ඉන්ධන සහ තුන්වන පරම්පරාවේ ඉන්ධන කියල. මේ ගැන වැඩි විස්තර අපි වෙනම ලිපියකින් ඉදිරියේදී සාකච්ඡා කරමු.

තවත් විකල්ප බලශක්ති ප්‍රභේදයක් වන පුනර්ජනනීය බලශක්ති ගැන මෙතැනින් කියවන්න පුළුවන් http://goo.gl/jFHlYA

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *