Home » Research that Matters » බෞද්ධ භාවනාව ගැන විද්‍යාත්මක විමර්ශනයක්

බෞද්ධ භාවනාව ගැන විද්‍යාත්මක විමර්ශනයක්

පෙර සටහන :

මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නේ සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයයේ (National University of Singapore) සහ ඇමෙරිකාවේ හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂකයින් දෙදෙනක් විසින් ඉදිරිපත් කර තිබූ පර්යේෂණ ලිපියක සංක්‍ෂිප්තයකි. මෙම අධ්‍යයනය සඳහා ඔවුන් භාවිතා කළ භාවනා ක්‍රමයන් හි කෙටිකාලීන  ප්‍රතිඵල ඔවුන් විවිධ උපකරණ භාවිතා කර විමර්ෂණය කර ඇති අතර මෙම ලිපියේ සඳහන් වන්නේ එම ප්‍රතිඵල ගැන පමණි. එම භාවනාවන්හි යෙදීමෙන් ඇති වන අනෙකුත් ප්‍රතිඵල (දිර්ඝකාලින හෝ කෙටි කාලින) ගැන දැන ගැනීමට ඔබට අවශ්‍ය නම් ඊට අදාළ පොත පත පරිශීලනය කිරීම හෝ අත්දැකීම් ඇති භාවනා යෝගියෙකුගෙන් විමසීම කල යුතුය. විශේෂයෙන්ම, මෙම ලිපිය කිසි ලෙසකින් වත්  “බුදු දහම විද්‍යානුකුලයි” යන බොලඳ තර්කය ගොඩනැගීම සඳහා භාවිතා නොකරන මෙන් ඉල්ලා සිටිමි. බුදු දහම වැනි ඉතා ගැඹුරු දර්ශණයක දිග පළල විද්‍යාව වැනි එතරම් නොදියුණු දැනුම් පද්ධතියක් මගින් මැනිය හැකි යැයි සිතිය නොහැක.  බුදු දහමේ ඇති සංදිට්ඨික ගුණය සහ ඒහිපස්සික ගුණය නිසා, එහි ඇති අරුත තම තම නැණ නුවණ පමණින් අවබෝධ කර ගැනීමට ඕනෑම අයෙකුට හැකියාව ඇත. ඒ සඳහා විද්‍යාව වැනි බාහිර නිර්ණායක අවශ්‍ය නොවේ.

ලිපිය:

සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය Ido Amihai සහ ඇමෙරිකාවේ හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය Maria Kozhevnikov  විසින් සිදු කළ මෙම පර්යේෂණයේදී ටිබෙට් භාවනා ක්‍රමයක් වන වජිරාසන භාවනාවෙහි එන භාවනා ක්‍රම දෙකක් සහ ථෙරවාද භාවනාවේ එන සමත සහ විපස්සනා යන භාවනා ක්‍රම දෙක අධ්‍යයනය කර ඇත.

medi

කසින භාවනාව අතරතුර දත්ත ලබා ගැනීමේ අවස්ථාවක්

ථෙරවාද භාවනා ක්‍රම අධ්‍යයනය සඳහා යොදා ගෙන ඇත්තේ තායිලන්ත භාවනායෝගීන් පිරිසක් වන අතර ඔවුන් ඒ වන විට වසර 8ක් පමණ භාවනාව පුහුණු කල පිරිස් ය. මේ අතර, වජිරාසන භාවනාව අධ්‍යයනය සඳහා යොදාගෙන ඇති නේපාල ජාතික භාවනායෝගින්ට වසර 7 1/2ක පමණ භාවනා පුහුණුවක් තිබී ඇත.

මෙම පර්යේෂණදී භාවනාව මගින් මොළයට සහ හදවතට ඇති කරන බලපෑම අධ්‍යයනය කර ඇත. මොළය මගින් ඇති කරන විද්‍යුත් සංඥා අධ්‍යයනය සඳහා EEG (Electroencephalography) තාක්‍ෂණයද, හදවතේ ක්‍රියාකාරිත්වය අධ්‍යයනය සඳහා ECG (Electrocardiography) දත්ත ද භාවිතා කර ඇත. භාවනායෝගින්ට මිනිත්තු 10 -15 වැනි කාලසීමාවක් භාවනාවේ යෙදීමට සලස්වා එම කාලය පුරාම නොකඩවා EEG සහ ECG භාවිත කරමින් මොළයේ සහ හදවතේ ක්‍රියාකාරිත්වයට අදාළ දත්ත එක්රැස් කරගෙන ඇත. මෙහි ඇති ඡායාරුපයේ ඇත්තේ භාවනායෝගියෙකු කසින භාවනාවේ යෙදී සිටින අතරතුර ඔහුගේ මොළයේ EEG දත්ත ලබා ගන්නා අවස්ථාවකි.

මෙලෙස එක්රැස් කරගත් දත්ත විශ්ලේෂණය කිරීමෙන් මෙම පර්යේෂකයින්ට භාවනායෝගින් තුල ප්‍රධාන ප්‍රවණතා දෙකක් දැක ගැනීමට හැකිවී ඇත. එනම්, විපස්සනා භාවනාවේ යෙදුනු භාවනායෝගින් තුල ඉතාම ඉහල මානසික ලිහිල් භාවයක් (relaxation) නිරීක්‍ෂණය කිරීමට හැකි වී ඇති අතර වජිරාසන භාවනාවේ යෙදුනු භාවනායෝගින්ගේ බුද්ධිමය ක්‍රියාකාරිත්වයේ (cognitive performance) විශාල ක්‍ෂණික වර්ධනයක් දක්නට ලැබී ඇත.

මෙම සිමා සහිත අධ්‍යයනය තුළ එම පර්යේෂකයින්ට භාවනායෝගින් අත්විඳින සුවිශේෂී අත්දැකීම් වලින් බිඳක් විද්‍යාත්මක උපකරණ ආධාරයෙන් විමර්ශණය කිරීමට අවස්ථාවක් ලැබී ඇත. මිට අමතරව, බෞද්ධ භාවනාවේ විවිධ පැතිකඩ (විශේෂයෙන්ම මනෝවිද්‍යාත්මක පැතිකඩ) පිළිබඳව විශාල වශයෙන් ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ සිදු කර ඇති අතර ඒ ගැන ලියවුනු පර්යේෂණ ලිපි ද විශාල ප්‍රමාණයක් පළවී ඇත.කෙසේ වෙතත්, බෞද්ධ භාවනාවේ ප්‍රථිපල ගැන මෙම පර්යේෂණ ලිපි වලට වඩා නිවැරදි සහ ගැඹුරු තොරතුරු ඇතුළත් පොත්පත් අවශ්‍ය තරම් අප රටේ ඇති බවද අවසන් වශයෙන් සඳහන් කරමි.

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *