Home » විශේෂාංග » tech_quiz » මොනවද මේ සර්ක්ලිප් (Circlip)?

මොනවද මේ සර්ක්ලිප් (Circlip)?

පසුගිය Tech Quiz ගැටළුවෙන් ඇහුවේ Circlip එකක් ගැන. ඒ ගැටළුවට බොහෝ දෙනෙක් පිළිතුරු දී තිබුන. ඒ අතරින් සවිස්තරාත්මකව දීල තිබුන පිළිතුරු කිහිපයක් මේ ලිපිය පහලින් ඉදිරිපත් කර තියෙනවා. ලබා දුන් පිළිතුරු වලට ඌනපුර්ණයක් ලෙසින් තමයි මේ සටහන තබන්නේ.

වෘත්තාකාර (circular) ගාන්චුවක් (clip) යන වදන් එකිනෙක හා මුසුව හැදුනු Circlip යන වදනින් හඳුන්වන මෙය C-Clip, Seeger ring,හෝ snap ring යන වදන් වලින්ද හඳුන්වනවා. විශේෂයෙන්ම ඇමෙරිකන් ඉංග්‍රීසි වලදී මෙය snap ring ලෙසින්ද බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි වලදී මෙය Circlip යන වදනින් ද බොහෝ විට හඳුන්වනු දකින්න පුළුවන්.

මෙය faster එකක් ලෙසින් හෝ retaining ring එකක් ලෙසින් භාවිතා වෙනවා. කරකැවෙන යන්ත්‍ර කොටස් වලට රිසි සේ කරකැවීමට ඉඩ ලබා දෙමින් ඒවාට ශාෆ්ට් එක දිගේ ඔබමොබ චලනය වීම වලක්වන උපාංගයක් තමයි මෙය (This allows circular motion while preventing longitudinal motion along the shaft). ගියර් විල්, බෙයාරින්, මෝටර්  ආදිය මෙම Circlip බහුලව භාවිතා වෙන උපාංග.

තහඩු යකඩ (sheet metal) ස්ටෑම්පින් (stamping) මගින් නිපදවන මෙම Circlip වල එක පැත්තක් සුමටවත් අනෙක් පැත්ත රළු ලෙසිනුත් නිමවා තිබෙනවා. මෙහි සුමට පැත්ත කරකැවෙන පෘෂ්ටය දෙසට සවි කල යුතුයි, ඒ ඝර්ෂණය අවම කර ගන්න. මීට අමතරව සුදුසු පරිදි මේවා ස්නේහනය (lubricate) කල යුතුයි.

මේවා සවිකිරීම සහ ගැලවීම සඳහා ඒ සඳහා විශේෂිත වූ අඬු භාවිතා කිරීම වැදගත් (circlip pliers). රූපසටහන් අංක 1 න් පෙන්වා ඇත්තේ මෙවැනි අඬුවක්. මෙවැනි විශේෂිත අඬුවක් සොයා ගන්න බැරි වුනොත් තුඩ සිහිනි සාමාන්‍ය අඬුවක් ආධාරයෙන් හෝ ඉස්කුරුප්පුණි දෙකක් ආධාරයෙන් හෝ සර්ක්ලිප් සවිකිරීම හෝ ගැලවීම කරගන්න හැකියි. සාමාන්‍යයෙන් සර්ක්ලිප් එකක් දෙපස කෙලවර වල කුඩා සිදුර බැගින් තියෙනවා. මේ සිදුරු වලට අඬුව ඇතුල්කර සර්ක්ලිප් එක ඈත්කර තමයි මෙය සවිකිරීම හෝ ගැලවීම සිදු කරන්නේ.

circlip-plier

රූපසටහන් අංක 1 – සර්ක්ලිප් සවි කරන අඬුවක් සහ අභ්‍යන්තර සහ බාහිර සර්ක්ලිප් සඳහා වෙන්වූ ඇමුණුම් කිහිපයක්

අභ්‍යන්තර සහ බාහිර ලෙසින් සර්ක්ලිප්  ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් වෙනවා. මේ කුමන ආකාරයකදී වුනත් සර්ක්ලිප් එක දුන්නක් ලෙසින් ක්‍රියා කර සවි වන පෘෂ්ඨය මතට බලයක් යොදනවා. මෙම බලය මගින් තමයි සර්ක්ලිප් එක එය රැඳවීම සඳහා සාදා ඇති කුඩා කට්ටය තුල (groove)  තදින් සිරවී සිටින්නේ.  සර්ක්ලිප් ශාෆ්ට් එකක් වටා සවි වෙමින් ශාෆ්ට් එක ඇතුලට තල්ලු කරමින් සවිවී තිබෙන අතර බාහිර සර්ක්ලිප් සිලින්ඩරාකර බෝර් (bore) එකක අභ්‍යන්තරයේ සවි වී එහි පෘෂ්ට පිටතට තෙරපමින් සවිවී තිබෙනවා. රූපසටහන් අංක 2න් බාහිර සර්ක්ලිප් එකක් සහ රූපසටහන් අංක 3න් අභ්‍යන්තර සර්ක්ලිප් එකක් පෙනුම් කරනවා.

external-circlip

රූපසටහන් අංක 2: බාහිර සර්ක්ලිප් එකක්

 

internal-circlip

රූපසටහන් අංක 3: අභ්‍යන්තර සර්ක්ලිප් එකක්

 

භාවිතාව අනුව එකිනෙකට වෙනස් වූ සර්ක්ලිප් වර්ග ගණනාවක් තියෙනවා. මෙයින් තරමක් වෙනස් වූ සර්ක්ලිප් වර්ගයක් තමයි Constant-section retaining rings කියන්නේ. රූපසටහන්අංක 4 න් පෙන්වා ඇති පරිදි මේවයේ දෙකෙළවර සිදුරු දකින්න නැහැ. මේ නිසා සාමාන්‍ය සර්ක්ලිප් අඬු භාවිතා කරන්න බැහැ. මේ සඳහා විශේෂිත වූ අඬු තියෙනවා. ඒවා constant-section retaining ring plier  ලෙසින් හඳුන්වනවා. මෙම වර්ගයේ සර්ක්ලිප් යටතේ එන තවත් ස්ර්ක්ලිප් විශේෂයක් තමයි සර්පිලාකාර රිටෙන්ෂන් රින්ග් හෙවත් spiral retention rings. සාමාන්‍යයෙන් සර්ක්ලිප් එකක් දෙකෙළවර අතර කුඩා හිඩැසක් තිබුනත් මෙම සර්ක්ලිප් වල එවන් හිඩැසක් නැහැ. ඒ කියන්නේ, සම්පුර්ණ රවුමක් ලෙසින් තමයි මෙය තියෙන්නේ. රූපසටහන් අංක 5 න් පෙන්වා තියෙන්නේ මෙම සර්පිලාකාර රිටෙන්ෂන් රින්ග් එකක්. මෙම සර්ක්ලිප් සවිකිරීම සහ ගැලවීම සඳහා ද ඒ සඳහා විශේෂිත වූ අඬු භාවිතා කරනවා.

constant-section-ring

රූපසටහන් අංක 4: Constant-section retaining rings එකක්.

 

 

spiral-retention-ring

රූපසටහන් අංක 5 : සර්පිලාකාර රිටෙන්ෂන් රින්ග් එකක් (spiral retention ring)

 

බහුලවම දකින්නට ලැබෙන සර්ක්ලිප් වර්ගය තමයි tapered-section circlip ලෙසින් හඳුන්වන්නේ. මෙහි නමේ අරුත අනුවම, මෙම සර්ක්ලිප් එකක මැද වැඩි පළලකින් ද කෙලවරට වන්නට අඩු පළලකින් ද යුතු වන පරිදි ටේපර් (taper) හැඩයක් ගන්නවා. මේ හැඩය නිසා සර්ක්ලිප් එක සවි කල පසුවද එහි වෘත්තාකාර හැඩය නොවෙනස්ව පවත්වා ගනිමින් සවි කරන යන්ත්‍ර කොටස ( ශාෆ්ට් එක හෝ සිලින්ඩරය) සමග ඉතා හොඳ ස්පර්ශයක් (contact) පවත්වා ගනිමින් දැඩිව බදා අල්ලා ගන්නවා (maintains a good grip).  රූපසටහන් අංක 6න් පෙන්වා තියෙන්නේ මෙම ටෙපර් සර්ක්ලිප් එකක්.

tapered-circlip

රූපසටහන් අංක 6: ටෙපර් සර්ක්ලිප් එකක්

 

තවත් සර්ක්ලිප් වර්ගයක් තමයි  increased abutment circlip (වැඩි ආධාරක සර්ක්ලිප් කියල සිංහලෙන් කියන්න පුළුවන් වේවි – මෙය නිවැරදිම යෙදුමද යන්න නොදනිමි). රූපසටහන් අංක 7හි පෙන්වා ඇති පරිදි මෙම සර්ක්ලිප් එකේ බඳේ ඇති කන් (lugs) නිසා වැඩි ස්පර්ශක පෘෂ්ඨයක් මෙමගින් ලබා දෙනවා. සර්ක්ලිප් එක අභ්‍යන්තර ද  බාහිර  ද යන්න අනුව මෙම lugs වල පිහිටීමඅතුලටද පිටතටද යන්න තීරණය වෙනවා.

increased-abutment-circlip

රූපසටහන් අංක 7 : increased abutment circlip

ඉහත සඳහන් කල සර්ක්ල්ප් වර්ග වලට අමතරව Inverted circliips, E ring, Grip ring ආදී වශයෙන් වෙනත් සර්ක්ලිප් වර්ග දකින්න ලැබෙනවා. රූපසටහන් අංක 8න් පෙන්වා ඇත්තේ E ring එකක්.

e-ring

රූපසටහන් අංක 8: E ring එකක්.

 

Tech Quiz තුලින් ඇසු පැනය සහ එයට ලබා දුන් පිළිතුරු අතරින්  පිළිතුරක් පහත දැක්වේ.

quiz

 

 

 

 

 

 

 

 

Luxman HRDS ලබා දුන් පිළිතුර: 

Circlip- C-අමුණන ලෙස හඳුන්වයි. ගාංචු හෝ විවෘත අන්ත සමග අවසන් පූර්ව නම්යශීලී ලෝහ මුද්දක් සමන්විත රඳවා තබා මුද්ද වර්ගයකි වන භ්රමණ කිරීමට ඉඩ නමුත් පාර්ශ්වික ව්යාපාරය වැළැක්වීම සඳහා dowel පින් හෝ වෙනත් පැත්තෙන් යන්තගත රෝදයට බවට, ස්ථානයක් බවට කට ගත හැක. අභ්යන්තර හා බාහිර, ලෙස වර්ග දෙකක් ඇත. Circlips බොහෝ විට සම්බන්ධතා ආරක්ෂා කිරීම සඳහා භාවිතා වේ.

(මෙම ගැටළුවට පිළිතුරු 30ක් පමණ ලබාදී තිබුනත් ඔබේ පිළිතුරු මෙහි ඇතුලත් නොකළේ ඒවා ප්‍රමාණාත්මක ලෙසින් සවිස්තරාත්මක නොවූ බැවිනි. ඒ ගැන අමනාප නොවන්න)

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *