Home » දැනුමට යමක් » ආහාර ජීර්ණ ක්‍රියාවලිය හඳුනාගනිමු

ආහාර ජීර්ණ ක්‍රියාවලිය හඳුනාගනිමු

මිනිසාගේ පැවැත්ම සඳහා අවශ්‍ය කරන මුලිකම දෙයක් තමයි ආහාර. අපගේ ආහාර වල ඇති ඇති සාරය ශරීරයට උරාගෙන අනවශ්‍ය කොටස් බහිශ්‍රාවය පද්ධතිය හරහා පිට කරන්න අපගේ ශරිරයට පුළුවන්. මේ ක්‍රියාවලිය සිදු කරන පද්ධතිය තමයි ආහාර ජීර්ණ පද්ධතිය. මෙම ආහාර ජීර්ණ පද්ධතිය මගින් සිදුකරන ජීර්ණ ක්‍රියාවලිය මුලික වශයෙන් අවයව 7ක් මුල් කරගෙන තමයි සිදුවෙන්නේ. මේ ලිපියෙන් අපි සාකච්ඡා කරන්නේ මෙම  ප්‍රධාන අවයව 7 සම්බන්ධ කර ගත් ආහාර ජීර්ණ ක්‍රියාවලිය පිළිබඳව.

1. මුඛය (mouth)

ආහාර ජීර්ණ ක්‍රියාවලිය ආරම්භ වන්නේ මුඛයෙන්. ඔබ ආහාරයක් කටට ගෙන හපන්න පටන් ගත් විටම තමයි ජීර්ණ ක්‍රියාවලිය ආරම්භ වෙලා ආහාරය ශක්තිය බවට පරිවර්ථනය වෙන්න පටන් ගන්නේ. ඛෙට ග්‍රන්ථි (salivary gland) මගින් නිපදවන ඛෙට හෙවත් කෙළ (saliva) මගින් ආහාරයේ ඇති පිෂ්ඨ  කොටස් (starch) විඛන්ඩනය පටන් ගන්නවා. ඒ වගේම තමයි මෙම කෙළ නිසා අහර පිඩ ආමාශය වෙත ගමන් කිරීමත් පහසු කරනවා.

2. ගලනාලය / අන්නස්‍රෝතය (oesophagus)

Digestive System

ආහාර ජීර්ණ පද්ධතියේ කොටස්

ගලනාලය හෝ අන්නස්‍රෝතයලෙසින් හඳුන්වන්නේ මුඛය සහ ආමාශය යා කරන බටයක් වැනි කොටසයි.

ඔබ අහර පිඩ හපා අවසන් වූ පසු කරන්නේ එය ගිල දමන එක. මෙහිදී එම අහර පිඩ මුඛයේ සිට ගලනාලය හරහා ආමාශයට ගමන් කරනවා. මේ සඳහා තත්පර 10ක පමණ කාලයක් තමයි ගතවෙන්නේ.

3. ආමාශය (stomach)

ආමාශය වෙත පැමිණි ආහාර එහිදී තව දුරටත් විඛන්ඩනවෙනවා. මෙම විඛන්ඩනය භෞතික එකක් පමණක් නොවෙයි, රසායනිකවත් ආහාර  විඛන්ඩනය වෙනවා. ඒ කියන්නේ, රසායනික පරිවර්ථනයකුත් සිදු වෙනවා. මේ සියල්ල සිදු කරන්නේ ආමාශයේ ඇති අම්ල සහ එන්සයිම වල ක්‍රියාකාරිත්වය මගින්. මෙසේ විඛන්ඩනය වූ ආහාර ඊට පසුව ගමන් කරන්නේ කුඩා අන්ත්‍රය (කුඩා බඩවැල) වෙත.

4. කුඩා අන්ත්‍රය (small intestine)

ඉතා දිග දඟර ගැසුණු බටයක් වැනි කොටස තමයි කුඩා අන්ත්‍රය. ඔබගේ බඩේ වැඩි ඉඩ ප්‍රමාණයක් අරගෙන තිබෙන්නේ මෙම ඉන්ද්‍රියයි. ආහාරය ජීර්ණය වීම හෙවත් ආහාරයේ ඇති සාරය උරා ගැනීමේ ක්‍රියාවලිය අවසන් වෙන්නේ මෙහිදී. කුඩා බඩවැලේ බිත්ති මගින් තමයි ආහාරයේ ඇති පෝෂණ කොටස් රුධිරයට උරා ගැනීම සිදු කරන්නේ. මේ සඳහා අවැසි පමණ ඉඩක් ලබා දීමට තමයි කුඩා බඩවැල මෙතරම් දිගට පිහිටා තිබෙන්නේ. කුඩා අන්ත්‍රයෙන් පසුව ආහාර ගමන් කරන්නේ මහා අන්ත්‍රයට.

5. මහා අන්ත්‍රය (large intestine)

කුඩා අන්ත්‍රය මෙන් දෙගුණයක් පමණ වූ විෂ්කම්භයකින්ද එහි දිගෙන් හරි අඩක් පමණ වූ දිගකින් ද යුතු මහා අන්ත්‍රය (මහා බඩවැල) මගින් සිදු කරන්නේ ජීර්ණය නොවන අහර කොටස් ශරීරයෙන් පිට කර හැරීම.මෙම දිරවිය නොහැකි අහර කොටස් ගුධමාර්ගය (rectum) වෙත ගමන් කර එමගින් අසූචි (faeces)ලෙසින් සිරුරෙන් ඉවත් කරනවා.

6. අග්න්‍යාශය (pancreas) / පිත්තාශය (gall bladder)

මෙම අවයව දෙකම මගින් ආහාර ජීර්ණය සඳහා අවශ්‍ය කරන ශ්‍රාවයන් (secretion) නිපදවීම සිදු කරනවා. එමනිසා මෙම අවයව දෙකම ආහාර ජීර්ණ ක්‍රියාවලිය සඳහා ඉතාම වැදගත්.

7.අක්මාව (liver)

ආහාර වලින් උරා ගත් පෝෂණ කොටස් ගබඩා කර තබා ගන්නේ අක්මාවේ. ඒ වගේම තමයි රුධිරයේ ඇති පෝෂණ කොටස් ප්‍රමාණය පාලනය කිරීමත් සිදු කරන්නේ අක්මාවෙන්. ප්‍රමාණයෙන් විශාල වූ අවයවයක් වන අක්මාව කාර්යයන් බොහොමයක් සිදු කරනවා. මෙම සියලුම කාරයයන්ගේ ප්‍රතිඵලයක් ලෙසින් රුධිරයේ ඇති විවිධ සංඝටක නිසි ප්‍රමාණයට පවත්වා ගැනීම අක්මාව මගින් සිදු කරනවා.

මෙම ලිපියෙන් ඔබට ආහාර ජීර්ණ ක්‍රියාවලිය පිළිබඳව මෙන්ම ඒ ආශ්‍රිත අවයව සම්බන්ධවත් යම් දැනුමක් ලැබෙන්න ඇති.

(මේ ලිපිය සඳහා මුලික කර ගත්තේ How It Works පොතේ දෙවන වෙළුමේ පිටු අංක 136 හි පළවූ Digestion Explained නම් ලිපියයි.)

මෙම ලිපිය අනවසරයෙන් විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය වල පළකිරීම සපුරා තහනම්. අවසර ලබා ගැනීමට v.thaksalawa@gmail.com ට ලියන්න

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *