Home » විශේෂාංග » බලශක්ති » තාක්‍ෂණයේ නිහඬ ව්‍යසනයට – අපි සුදානම්ද?

තාක්‍ෂණයේ නිහඬ ව්‍යසනයට – අපි සුදානම්ද?

දිනෙන් දින භාවිතයට ලැබෙන නව තාක්‍ෂණික මෙවලම් අපි ආදරයෙන් වැළඳගනිද්දී, තාක්‍ෂණික දියුණුව දැක අමන්දානන්දයට පත් වෙද්දී මේ සියල්ල පිටුපසින් එන දැවැන්ත ව්‍යසනයක සේයාවක් වත් අපට දකින්න ලැබෙන්නේ නැහැ.

ක්‍රි.ව 18වන සහ 19 වන සියවස් අතර සිදුවූ කාර්මික විප්ලයව සහ කාර්මික පුනරුදෙයෙන් පටන් ගෙන් අද දක්කවා මේ පැමිණ ඇති කාර්මික සංවර්ධයන පිටුපස ඇති එක මහා පොදු සාධකයක් තිබෙනවා. ඒ තමයි බලශක්ති. බලශක්ති නැතිව ජිවත් වෙන්න පුලුවන්ද කියල යමෙකුගෙන් ඇසුවොත්, ඇතැම් විටක ඔහු මොහොතක් ගනීවි පිළිතුරක් දෙන්න. නමුත්, දුම්රිය, මෝටර් රථ,ගුවන් යානා, විදුලි බලය, දුරකථන, රුපවාහිනී නැති ලොවක ජීවිතය කොහොමද කියල ඇසුවොත් මොහොතක් වත් පමා නොවී එවැන්නක් ගැන හිතා ගන්නවත් බැරි බව පවසාවි. ඒ තරමටම මේ දේවල් අපේ ජීවිතයහා සම්බන්ධවයි පවතින්නේ. ඒත් මේ සියල්ල පවතින්නේ අපට උකහාගත හැකි මට්ටමේ බලශක්ති පවතින තුරු පමණයි.

co2 emission

රූප සටහන් අංක 1: වාර්ෂික කාබන් ඩයොක්සයිඩ් විමෝචනය මෙට්‍රික් ටොන් බිලියන වලින්                               (ප්‍රස්ථාරය සඳහා දත්ත ජාත්‍යන්තර බලශක්ති සංවිධානයේ දත්ත ගබඩාවෙනි)

වත්මන් ලෝකයේ බලශක්ති අවශ්‍යතා වලින් 85%කට වැඩි ප්‍රමාණයක් සපයා ගන්නේ පොසිල ඉන්ධන මගින් (පෙට්‍රල්, ඩීසල්, ගල් අඟුරු, ස්වභාවික වායුව). මේ පොසිල ඉන්ධන භාවිතය නිසා ඉතා විශාල වශයෙන් කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයට මුදාහැරෙනවා. රූපසටහන් අංක 1න් දක්වා තිබෙන්නේ 1980 වසරේ සිට 2012 වසර දක්වා බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමේදී වාර්ෂිකව පරිසරයට මුදා හැරුණු කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය මෙට්‍රික් ටොන් බිලියන වලින්. මේ ප්‍රස්ථාරය ඉතාම භයානක ව්‍යසනයක පෙර නිමිති ගෙනහැර පානවා. ඒ තමයි පෘථිවි උෂ්ණත්වය ඉහල යාම. මෙමගින් මුහුදු මට්ටම ඉහල ගොස් ගොඩබිම් යටවීම ඇතුළු තවත් ව්‍යසන ගණනාවක් සිදුවන්න පුළුවන්.

කාබන්ඩයොක්සයිඩ් වායුව හරිතාගාර වායුවක් බව ඔබ දනනවා. මේ නිසා මෙය ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට සෘජුවම දායක වෙනවා. ගෝලීය උණුසුම වැඩිවීම සෙල්සියස් අංශක 2ක හෝ ඊට ආසන්න මට්ටමකට සීමා කිරීමට නම් සමස්ත වාර්ෂික කාබන් ඩයොක්සයිඩ් විමෝචනය මෙට්‍රික් ටොන් බිලියන 18කට සිමා කරන්න වෙනවා. නමුත් අපි මේ වන විටත් වසරකට මෙට්‍රික් ටොන් බිලියන 32කට අධික ප්‍රමාණයක් වායුගෝලයට නිකුත් කරනවා.  මේ ගැටළුවේ බරපතලකම තවත් වැඩි වන්නේ බලශක්ති ඉල්ලුමත් දිනෙන් දින ඉහල යාම නිසයි.

ජාත්‍යන්තර බලශක්ති සංවිධානය ඇස්තමේන්තු කර ඇති ආකාරයට ඉදිරි දශක කිහිපය තුල (වසර 2040 පමණ වන විට) බලශක්ති ඉල්ලුම 56%කින් පමණ ඉහල නගිනවා. ඉන්දියාව, චීනය වැනි අධික ජනගහනයක් සිටින රටවල සිදුවන දැවැන්ත කාර්මීකරණය මෙයට ප්‍රධානම හේතුවක්. රූපසටහන් අංක 2න පෙන්වා තිබෙන්නේ බලශක්ති ඉල්ලුම ( quadrillions Btu වලින්) 1990 වසරේ සිට 2010 වසර දක්වා ඉහල ගොස් ඇති ආකාරය සහ ඉදිරි කාලය සඳහා අපේක්ෂිත ඉහල යාමයි.

energy demand growth

රූප සටහන් අංක 2: බලශක්ති ඉල්ලුම ඉහල යාම (ඉල්ලුම quadrillions Btu වලිනි)

පොසිල ඉන්ධන වලින් තොරවූ වඩා පරිසර හිතකාමී විකල්ප බලශක්ති වැඩි දියුණු කිරීමේ පර්යේෂණ කටයුතු සඳහා මේ වන විට අති විශාල මට්ටමින් ආයෝජන සිදු කෙරුණත්, එම ආයෝජන වලට සාපේක්ෂව එම ක්ෂේශ්‍රයන්හි සාධනීය දියුණුවක් දකින්න ලැබුනත් පවතින අධික බලශක්ති ඉල්ලුම හමුවේ පොසිල ඉන්ධන ප්‍රතිස්ථාපනය කිරීම විකල්ප බලශක්ති වලට අසීරු කටයුත්තක්. දැනට ඇස්තමේන්තු කර ඇති ආකාරයට වසර 2040 වන විටත් සමස්ත ගෝලීය බලශක්ති අවශ්‍යතාවයෙන් 75%ක පමණ ප්‍රමාණයක් සපයා ගන්න වන්නේ පොසිල ඉන්ධන භාවිතයෙන්. මේ නිසා සිදුවන පරිසර දුෂණයේ ප්‍රමාණය ගැන සිතා ගන්න ඔබට හැකි වේවි.

මේ ගැටළු වලට පිළිතුරු සෙවීම සඳහා මේ වන විට විශාල වශයෙන් පර්යේෂණ සිදු කෙරෙමින් පවතිනවා. මින් එක ක්‍රමවේදයක් වන්නේ Carbon capture and storage නම් තාක්‍ෂණය. මෙමගින් කරන්නේ කර්මාන්ත ශාලා, විදුලි බලාගාර වැනි විශාල වශයෙන් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය කරන ස්ථාන වලින් පිටවන කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයට එකතු වීමට ඉඩ නොදී එකතු කර ගෙන පොළව යට ගබඩා කිරීම. මෙමගින් සැලකිය යුතු මට්ටමකට කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අඩු කර ගන්න හැකිවෙනවා (80% කින් පමණ). ඒ වගේම, ඉහල කාර්යක්‍ෂමතාවයකින් යුතුව පොසිල ඉන්ධන භාවිතා කිරීමත් තවත් එක් පිළියමක්. මේ නිසා තමයි ඉහල කාර්යක්‍ෂමතාවයකින් යුතු යන්ත්‍රෝපකරණ නිපදවීම සඳහා බොහෝ නිෂ්පාදකයින් උනන්දු වන්නේ. විදුලිය නිපදවීම සඳහා දැනට භාවිතා කරන හුමාල ටර්බයින සහ ගෑස් ටර්බයින වෙනුවට ඊට වඩා ඉහල කාර්යක්‍ෂමතාවයකින් විදුලිය නිපදවිය හැකි ඉන්ධන කෝෂ (fuel cell) පිලිබඳවත් සාර්ථක පර්යේෂණ සිදු කෙරෙනවා. මගේ පර්යේෂණ විෂය ක්ෂේස්ත්‍රයත් මීට සමගාමී එකක්. ඒ නිසා මේ ලිපියට ලැබෙන ප්‍රතිචාර දෙස බලා, වැඩි පිරිසක් උනන්දු නම් මෙම ඉන්ධන කෝෂ තාක්‍ෂණය ගැන වැඩිදුර විස්තර ඉදිරිපත් කරන්න පුළුවන්

ජන ජීවිතය ආපසු ගල් යුගයට රැගෙන නොයමින්, පෘථිවියද ආරක්ෂා කර ගනිමින් හෙට ලොවට මුහුණ දිය යුතු නිසා මේ වන විට බලශක්ති විෂය ක්ෂේස්ත්‍රය දැවැන්ත ආයෝජන ගලා එන, රැකියා අවස්ථා (සෘජු සහ වක්‍ර) විශාල වශයෙන් ඇති විෂය ක්ෂේස්ත්‍රයක් බවට පත්වී තිබෙනවා.

ඔබ නිවසේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරනවා කියන්නේ ඔබගේ මුදල් පසුම්බිය ආරක්ෂා කරනවා පමණක් නොව නුපන් හෙට පරපුර වෙනුවෙන් මේ මිහිතලයද රැකගන්නට දායක වුනා බව ඔබට දැන් වැටහෙනු ඇති.

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *