Home » විශේෂාංග » බලශක්ති » සුළං බලය හයිඩ්‍රජන් ලෙස ගබඩා කරමු

සුළං බලය හයිඩ්‍රජන් ලෙස ගබඩා කරමු

පුනර්ජනනීය බලශක්ති ප්‍රභව භාවිතා කර විදුලි බලය නිපදවීමට මේ වන විට ලොව පුරා විශාල උනන්දුවක් ඇතිවී තිබෙනවා. පොසිල ඉන්ධන දහනය මගින් සිදුවන විශාල පරිසර හානිය මෙන්ම පොසිල ඉන්ධන සම්පත සීග්‍රයෙන් ක්‍ෂයවීයෑම නිසා වැඩිවන ඉන්ධන ඉල්ලුමට සරිලන සැපයුම ලබාදීමට ඇති නොහැකියාව මේ අයුරින් පුනර්ජනනීය බලශක්ති වෙත යොමු වීම කඩිනම් කිරීමට හේතු වී තිබෙනවා.

වසර 2020 වන විට සිය විදුලිබල අවශ්‍යතාවයෙන් 20%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් ලබා ගැනීමට තමයි ජර්මනිය සැලසුම් කර තිබෙන්නේ. ඒ වගේම වසර 2050 වන විට මෙම අගය 80% දක්වා වර්ධනය කර ගැනීමත් ඔවුන්ගේ සැලසුමේ කොටසක්. මෙවැනි සැලසුම් පවතින්නේ ජර්මනියට පමණක් නෙමෙයි, වෙනත් රටවල් වලටත් මෙවැනි දීර්ඝ කාලීන සැලසුම් තිබෙනවා පරිසර හිතකාමී බලශක්ති භාවිතාව පිළිබඳව. උදාහරණයක් ලෙස එක්සත් රාජධානියටත් මෙවැනිම සැලසුමක් තියෙනවා.

මෙවන් රටවල් බොහොමයක් භාවිතා කරන්නේ සූර්ය ශක්තිය සහ සුළං බලය යන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්. නමුත් මේ බලශක්ති ප්‍රභවයන් දෙකම අපට අවශ්‍ය ලෙස පාලනය කල හැකි ප්‍රභව නෙමෙයි. එනම්, හිරු එළිය වැටෙන වෙලාව මෙන්ම සුළං හමන වෙලාවත් අපට පාලනය කල නොහැකියි.

wind

මෙම ප්‍රභව මගින් වැඩි වශයෙන් විදුලිය නිපදවිය හැක්කේ ඇතැම් විට විදුලි බල පරිබෝජනය අඩු අවස්ථා වල විය හැකියි. එමෙන්ම විදුලිබල පරිබෝජනය වැඩි කාල පරාස වලදී අවශ්‍ය වන විදුලිය නිපදවීමට මෙම ප්‍රභවයන්ට නොහැකි වන්න පුළුවන්. උදාහරණයක් ලෙස රාත්‍රී 7.30 -9.30 වැනි කාල පරාසයක් ගතහොත් අප රටේ විදුලි බල ඉල්ලුම ඉහල අගයක පවතින කාල පරාසයක් තමයි මෙය. නමුත් මේ වෙලාවට සුර්ය බලයෙන් විදුලිය නිපදවිය නොහැකියි. එසේ නම් මෙවන් අවස්ථා වල භාවිතයට ගැනීමට දවල් කාලයේදී නිපදවූ විදුලි බලය ගබඩා කර තබා ගත යුතුයි.

විදුලිබලය ගබඩා කර තබා ගැනීම ඉතාම අභියෝගාත්මක කටයුත්තක්. බැටරි වැනි උපාංග යොදාගෙන අති විශාල විද්‍යුත් ශක්තියක් ගබඩා කර තබා ගැනීම ඉතාම මිල අධික ක්‍රියාවලියක්. මෙවිට විදුලි ඒකකයක මිල දරා ගත නොහැකි තරම් ඉහල මිලක් වන්නට පුළුවන්. මේ නිසා ලෝකයේ විවිධ පර්යේෂණ කණ්ඩායම් විදුලිය ගබඩා කර තබා ගැනීම සඳහා ක්‍රමවේදයන් සොයා පර්යේෂණ දියත් කරනවා.

සූර්ය ශක්තිය මෙන්ම සුළං බලයෙන් නිපදවූ විදුලි බලය යොදාගෙන හයිඩ්‍රජන් නිපදවා එම හයිඩ්‍රජන් ගබඩා කර තබා ගැනීම මෙම බලශක්ති ගබඩා කර තබා ගැනීමේ තවත් එක් සාර්ථක උපක්‍රමයක්. මෙහිදී සිදුවන්නේ විදුලිය භාවිතා කර ජලය විද්‍යුත් විච්චේදනය කර එමගින් හයිඩ්‍රජන් නිපදවීම. මෙම ක්‍රමවේදය භාවිතා කර බලශක්ති ගබඩා කර ගැනීම කෙරෙහි ජර්මනියේ අවධානය යොමුවී තිබෙනවා. ලෝ සුපතල Siemens සමාගම පවසන්නේ ජර්මනිය අපේක්ෂා කරන මට්ටමේ විශාල විදුලිබල ගබඩා කර ගැනීමක් සඳහා මෙම ක්‍රමවේදය ඉතාම සාර්ථක බවයි. මේ සඳහා අවශ්‍ය තාක්ෂණයද Siemens සමාගම සතුව පවතිනවා.

මෙලෙස සූර්ය ශක්තිය සහ සුළං බලය භාවිතා කර නිපදවූ හයිඩ්‍රජන් වායුව ඉන්ධනයක් ලෙස භාවිතා කර fuel cell මගින් විදුලිය නිපදවිය හැකියි. එනම්, විදුලිබල අවශ්‍යතාවය ඉහල ගිය අවස්ථා වලදී මෙම ගබඩා කර ගත් හයිඩ්‍රජන් වලින් අවශ්‍ය ප්‍රමාණයට විදුලිය නිපදවිය හැකියි.

Fuel cell එකකදී සිදුවන්නේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් දහනයකින් තොරව ප්‍රතික්‍රියා කර විදුලිය නිපදවීමයි. මෙම විදුලි නිෂ්පාදන ක්‍රියාවලිය ඉතාම කාර්යක්ෂම ක්‍රියාවලියක් වන අතර සොලිඩ් ඔක්සයිඩ් ෆුඑල් සෙල් (Solid Oxide Fuel Cell) වැනි fuel cell භාවිතා කර විදුලිය නිපදවීමේදී 70% -80%ක පමණ කාර්යක්ෂමතාවයකින් විදුලිය නිපදවිය හැකියි. මෙහි ඇති අනෙක් වැදගත් කරුණ වන්නේ මෙසේ විදුලිය නිපදවීම ඉතාම පරිසර හිතකාමී ක්‍රමවේදයක් වීමයි.

කොහොම වුනත්, ජලය විද්‍යුත් විච්චේදනයෙන් විදුලිය නිපදවීම එතරම් ම කාර්යක්‍ෂම ක්‍රියාවලියක් නෙමෙයි. මේ නිසා සූර්ය බලයෙන් හෝ සුළං බලයෙන් නිපදවූ විදුලියෙන් සැලකිය යුතු ප්‍රමානයක් නාස්ති වෙනවා. නමුත්, මේ වනවිට ජලය විද්‍යුත් විච්චේදනයෙන් විදුලිය නිපදවීමේ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය ඉහල නැංවීම සඳහා පර්යේෂණ සිදු වන අතර මෙම පර්යේෂණ සාර්ථක මට්ටමේ පවතී. එබැවින් අනාගතය ගැන සුභවාදී බලාපොරොත්තු තබාගත හැක.

හයිඩ්‍රජන් fuel cell තාක්‍ෂණය ගැන ලියවුනු ලිපි මාලාවක් මෙතනින් ඔබට කියවිය හැකියි. මෙම ලිපි මාලාවෙන්  සාකච්ඡා කරන්නේ ද එක්  fuel cell වර්ගයක් ගැන පමණි. http://goo.gl/PrIVL4

පුනර්ජනනීය බලශක්ති යනු මොනවාද යන්න පැහැදිලි කරන ලිපියක් මෙතනින් ගොස් කියවන්න. http://goo.gl/wnYF0e

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *