Home » විශේෂාංග » ඉංජිනේරු තාක්‍ෂණය » භූ ස්ථාවර චන්ද්‍රිකා – ලිපි අංක 01

භූ ස්ථාවර චන්ද්‍රිකා – ලිපි අංක 01

සන්නිවේදන තාක්‍ෂණය නිසා අද ලෝකය විශ්ව ගම්මානයක් බවට පත්වෙලා. ලෝකයේ කොතැනක සිදුවන දෙයක් වුනත් අසුරු සැනින් අපගේ අවධානයට ගෙන එන්න සන්නිවේදන තාක්‍ෂණයට අද හැකි වෙලා තියෙනවා. සන්නිවේදන තාක්‍ෂණයට මෙතරම් විස්කම් පාන්නට මහෝපකාරී වන උපාංගයක් වන භූ ස්ථාවර චන්ද්‍රිකා (geostationary satellite) ගැන තමයි මේ ලිපියෙන් සාකච්ඡා කරන්න අදහස් කරන්නේ.

රූපවාහිනී සහ  ගුවන් විදුලි සංඥා විසුරුවා හැරීම, කාලගුණ තොරතුරු නිරීක්ෂණය මෙන්ම  වෙනත් සන්නිවේදන කටයුතු ආදියට භාවිතා කරන මෙම භූ ස්ථාවර චන්ද්‍රිකා වල ඉතිහාසය ගැන අපි මුලින්ම අවධානය යොමු කරමු.

ඉතිහාසය

භූ ස්ථාවර සන්නිවේදන චන්ද්‍රිකා පිළිබඳ සංකල්පය මුලින්ම ලෝකයට ඉදිරිපත් කළේ හර්මන් පොටෝනික් නමැති විද්‍යාඥයා විසින්, ඒ 1928 තරම් ඈත අතීතයේදී. නමුත් මෙමgeostationary satellite සංකල්පය වඩාත් පුළුල් ලෙසින්, සවිස්තරාත්මකව ඉදිරිපත් කලේ ශ්‍රීමත් ආතර් සී. ක්ලාර්ක් මහතා. 1945 වසරේදී Wireless world නමැති සඟරාවට ලිපියක් යොමු කරමින් භූ ස්ථාවර චන්ද්‍රිකා 3ක් මගින් මුළු ලොවම ආවරණය වන පරිදි සන්නිවේදනය කල හැකි බව ලොවට පැහැදිලි කලේ ක්ලාර්ක් මහතා විසින්.

භූ ස්ථාවර චන්ද්‍රිකා ගමන් ගන්න කක්‍ෂය හැඳින්වීමට අදත් බොහෝ අවස්ථා වල Clarke orbit (ක්ලාර්ක් කක්‍ෂය) යන නමද  භූ ස්ථාවර චන්ද්‍රිකා පිහිටා තිබෙන මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 38,786ක් පමණ උසින් පිහිටි කලාපය හැඳින්වීමට Clarke belt (ක්ලාර්ක් තීරය) යන නමද භාවිතා කරනු දක්නට හැකිය. ඒ ක්ලාර්ක් මහතාට කෙරෙන ගෞරවයක් ලෙසිනි.

භූ ස්ථාවර චන්ද්‍රිකා පිලිබඳ සංකල්පය මෙතරම් ඈත කාලයක ගෙන ආවත් එය ප්‍රායෝගිකව පරික්ෂා කර බැලීමට එකල තාක්‍ෂණය තිබී නැහැ. මුල්ම භූ ස්ථාවර චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කර තිබෙන්නේ 1964 වසරේදී, එය නමින් Syncom -3 ලෙසින් තමයි හඳුන්වන්නේ.

 මොනවද මේ භූ ස්ථාවර චන්ද්‍රිකා?

පැහැදිලි අහසක් ඇති රාත්‍රියක, යම් වෙලාවක් ඉවසීමෙන් අහස නිරීක්‍ෂණය කලොත් ඔබට චන්ද්‍රිකාවක් ගමන් කරන අයුරු දකින්න අපහසු නැහැ. නමුත්, ඔබ එසේ දකින කිසිම චන්ද්‍රිකාවක් භූ ස්ථාවර චන්ද්‍රිකාවක් නෙමෙයි. භූ ස්ථාවර යන නමේ අරුත පරිදිම භූ ස්ථාවර චන්ද්‍රිකාවක් පෘථිවියට සාපේක්ෂව ස්ථාවරයි, එනම් ගමන් කරන්නේ නැහැ. භූ ස්ථාවර චන්ද්‍රිකාවක් පෘථිවියේ යම් ස්ථානයකට ඉහලින් තිබෙනවා නම් එය සැමවිටම පිහිටා තිබෙන්නේ එම ස්ථානයට ඉහලින්මයි. මෙය එසේ නොවුනා නම් ඔබට චන්ද්‍රිකා වලින් ලැබෙන සන්නිවේදන සංඥා ලබා ගන්න ඇන්ටෙනාව නිතරම ඒ මේ අත කරකවන්න වෙනවා.

භූ ස්ථාවර චන්ද්‍රිකා සම්බන්ධ තවත් ඉතාම වැදගත් කරුණු දෙකක් තිබෙනවා: සියලුම භූ ස්ථාවර චන්ද්‍රිකා පිහිටා තිබෙන්නේ සමකයට ඉහලින් පමණයි. වෙනත් චන්ද්‍රිකා පෘථිවියේ වෙනත් ස්ථාන වලට ඉහලින් තිබුනත් භූ ස්ථාවර චන්ද්‍රිකාවකට එසේ පිහිටන්න හැකියාවක් නැහැ. අනෙත් කරුණ තමයි මුහුදු මට්ටමේ සිට ඇති උස. සෑම භූ ස්ථාවර චන්ද්‍රිකාවක්ම පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 35,786ක් උසකින්. මෙම උස ඉතාම තීරණාත්මකයි. මෙම උස ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් අඩු වැඩි වුනොත් එම චන්ද්‍රිකාවට චන්ද්‍රිකාවක් ලෙසින් අහසේ පැවතිය හැකි වුනත් එයට භූ ස්ථාවර චන්ද්‍රිකාවක් ලෙසින් පවතින්න බැහැ. මේ හැම දෙයකටම හේතු බොහොම පහසුවෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ තාක්‍ෂණික කරුණු අපි මීළඟ ලිපියෙන් සාකච්ඡා කරමු.

[මෙම ලිපිය අනවසරයෙන් මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය වල පළකිරීම සපුරා තහනම් ය – ඔබට ඕනෑම තැනක මෙම ලිපිය සඳහා වෙබ් යොමුවක් (web link) පළකිරීමට කිසිදු බාධාවක් නැත.]

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *