Home » Research that Matters » රුධිරයේ සීනි මනින ටැටූ එක (tattoo – පච්චය)

රුධිරයේ සීනි මනින ටැටූ එක (tattoo – පච්චය)

දියවැඩියා රෝගියෙකුට ඇතැම් විට දවසකට කිහිප වරක්ම රුධිරයේ සීනි මට්ටම මැන බලන්න සිදුවෙනවා. මේ සඳහා බොහෝ දෙනෙක් භාවිතා කරන්නේ රූපසටහන් අංක 1 හි දක්වා ඇති ආකාරයේ පුංචි උපකරණයක්. මේ උපකරණයෙන් රුධිරයේ සිනි මට්ටම මැනීමේදී සියුම් කටුවකින් සම සිදුරු කර පුංචි ලේ බින්දුවක් ලබා ගන්න සිදුවෙනවා. මෙය එතරම් වේදනාකාරී දෙයක් නොවුනත් දිනකට කිහිප වරක් මෙසේ සම සිදුරු කරමින් රුධිරය ලබා ගැනීම එතරම් ම ප්‍රසන්න අත්දැකීමක් නෙමෙයි. මෙන්න මේ ගැටලුවට අපූරු පිළියමක් ඇමෙරිකාවේ සැන්ඩියාගෝ හි පිහිටි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් විසින් සොයාගෙන තියෙනවා. ඒ තමයි සීනි මට්ටම බලන ස්මාර්ට් ටැටූ එකක් (tattoo) හෙවත් පච්චයක්.

blood-glucose-meter 2

රූපසටහන් 1: දැනට වෙළඳපොලේ ඇති රුධිරයේ සීනි මනින උපකරණයක්

මෙමගින් සම සිදුරු කිරීමකින් තොරවම රුධිරයේ සීනි මට්ටම මැනගන්න පුළුවන්. රූපසටහන් අංක 2න් පෙන්නුම් කරන්නේ මෙම ස්මාර්ට් ටැටූ එක. මෙහි තිබෙන අනිත් වැදගත්කම තමයි නොකඩවා එක දිගට සීනි මට්ටම නිරීක්‍ෂණය කිරීමට ඇති හැකියාව.

මෙහි වෙන්ව පෙනෙන කොටස් දෙක ඉලෙක්ට්‍රොඩ දෙකක්. මේ ඉලෙක්ට්‍රොඩ මගින් ඉතා කුඩා විදුලි ධාරාවක් සම තුලට යවනවා මිනිත්තු 10ක පමණ කාලයකට. මෙමගින් සමේ සෛල අතර ඇති තරළයේ තිබෙන සෝඩියම් අයන (ion) ඉලෙක්ට්‍රොඩ වෙත තල්ලු කරනවා. මෙසේ සෝඩියම් අයන ගමන් කරන විට ඒ හා සමග එම තරළයේ තිබෙන ග්ලුකෝස් (සීනි) ද යම් ප්‍රතිශතයක් පැමිණෙනවා. මෙසේ පැමිණෙන සීනි මගින් ජනනය කරන විදුලි අරෝපණයේ ප්‍රබලතාවය ටැටූ එකේ ඇති සෙන්සර් (sensor) මගින් මැන ගන්නවා මෙමගින් තමයි ශරීරයේ සමස්ත සීනි මට්ටම ගණනය කරන්නේ.

ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බොහෝ පිරිසකට මෙම ටැටූ එක පළඳවා ඔවුන්ගේ රුධිරයේ සීනි මට්ටම සාර්ථකව නිර්ණය කිරීමට මෙම පර්යේෂකයින් සමත්වීතිබෙනවා. මෙසේ ඉදිරිපත් වූ පිරිස පවසා ඇත්තේ මෙම ටැටූ එක භාවිතයේදී ඔවුනට කිසිදු වේදනාවක් හෝ අපහසුතාවයක් ඇති නොවූ බවයි.

glucose tattoo

රූපසටහන් 1:ස්මාර්ට් ටැටූ එක

මෙම සමීක්‍ෂණයට සහභාගී වූ පිරිසට කබෝහයිඩ්‍රේට අධික ආහාර වේලක් විද්‍යාගාරයේදී ලබා දී ඔවුන්ගේ රුධිරයේ සීනි මට්ටම මෙම ටැටූ එක මගින් සහ දැනට වාණිජව භාවිතා වන ඉඳිකටුව සහිත සීනි මිටරය මගින් නිරීක්ෂණය කර තිබෙනවා. මෙහිදී ටැටූ එක මගින් මැනගත සිනි මට්ටම හා දැනට භාවිතා වන ක්‍රමවේදය මගින් මැනගත් සිනි මට්ටමටම සංසන්දනය කිරීමේදී ටැටූ එක දැනට භාවිතා වන ක්‍රමය තරමටම නිවැරදි බව තහවුරු කර ගැනීමට මෙම පර්යේෂකයින් සමත්වී තිබෙනවා.

මොවුන්ගේ මීළඟ ඉලක්කය වන්නේ මෙහි ආයු කාලය වැඩි කිරීම සහ මිල අඩු කිරීමයි.  ඇතැම් විටක නුදුරු අනාගතයේදී ඔබට මෙය බොහොම අඩු මිලකට වෙළඳපොලෙන් මිලදී ගන්නත් හැකි වේවි.

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *