Home » විශේෂාංග » මෝටර් වාහන » මෝටර් රථ අලුත්වැඩියාව : හෙඩ් ෆේසින් සහ වෑල්ව් ග්‍රයින්ඩින්

මෝටර් රථ අලුත්වැඩියාව : හෙඩ් ෆේසින් සහ වෑල්ව් ග්‍රයින්ඩින්

එන්ජිමක් අලුත්වැඩියා කිරීමේදී හෙඩ් ෆේස් කිරීම සහ වෑල්ව් ග්‍රයින්ඩ් කිරීම සඳහා අදාළ කරුණු කීපයක් මෙම ලිපියෙන් සාකච්ඡා කරමු.

වාහනයක් හරියාකාරව ස්ටාර්ට් වන්නේ නැත්නම්, එන්ජිමේ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වේ නම්, එමෙන්ම ප්ලග් වලට තෙල් වදින්නේ නම්, රේඩියේටර කූලන්ට් හී තෙල් බිඳිති කළවම් වී ඇත්නම්, සයිලන්සරයෙන් සුදු දුම් නිකුත් වන්නේ නම්, එමෙන්ම සම්ප් එකේ ඇති තෙල් වලට වතුර කළවම් වී ඇති නම් එම එන්ජිමේ ගෙවීම සහ වතුර හෝ තෙල් අඩුව දිවීම වැනි දේ හා සම්බන්ද ප්‍රශ්න පෙන්වයි. පසුව කී දෙය, එනම් එන්ජිමේ සම්ප් එකට වතුර යන්නේ, එන්ජිම අන්තිමටම පිරිහී ගිය විටය. ඉන් පෙර අවස්ථාව නම්, රේඩියේටර් කූලන්ට් එක ලිහිස්සුම් තෙලෙන් අපවිත්‍ර වීම දැකිය හැකි වීමය. මක්නිසාද යත්, එන්ජිම ඇතුලේ ඇතිවන පීඩනය සහ ඔයිල් පීඩනය රේඩියෙටරය ඇතුලේ ඇතිවන පීඩනයට වඩා වැඩිවන හෙයින්, මුලින්ම වන්නේ එන්ජිම ඇතුලේ ඇති අධි පීඩිත ලිහිස්සුම් තෙල් කූලන්ට් එකට කළවම් වීමය.

වාහනයක උෂ්ණත්වය වැඩි වීමට එකම හේතුව වාහනයේ ගෑස්කට් යාම පමණක්ම නොවේ. එසේ හෙයින් වාහනය කල්පනාවෙන් පරීක්ෂා කල නිගමනයකට බැසිය යුතුය. සමහරවිට රේඩියේටර පංකාවක් ක්‍රියාවිරහිත වන්නට ඉඩ ඇත. නැතහොත් හෝස් එකක් ලීක් විය හැක. එසේ ඇති වන උෂ්ණත්වය නිෂ්පාදකයාගේ පොතේ කියන ආකාරයට වඩා වැඩි වේ නම්, එන්ජිම ක්ෂණිකව නැවැත්විය යුතු වේ. හැකි ඉක්මනින් එම උෂ්ණත්වය අඩු කිරීමට කටයුතු කල යුතුය. වාහනයේ වායු සමීකරණ යන්ත්‍රය ක්‍රියා විරහිත කර, කැබින් උෂ්ණත්වය උපරිම කිරීමට භාවිතා කරන වාහනයේ ඩෑෂ් බෝඩ් එකේ ඇති නොබ් එක, (තර්මොස්ටැට් එක පාලනය කිරීම.) උණුසුම් පැත්තට කරකවා බ්ලොවරය ක්‍රියාත්මක කල යුතු වේ. උණුසුම් වායුව වාහනය ඇතුලට පැමිණෙන්නේ එන්ජින් බ්ලොක් එකෙන් හෙයින්, එය එන්ජිම සිසිලණයට උපකාරී වේ. කෙසේ හෝ එන්ජිමේ ළිහිස්සුම් තෙල් වල උෂ්ණත්වය ඉහළ යාම, එම තෙල් වල දුශ්‍රාවිතාවයට බාධාවක් හෙයින්, අවශ්‍ය කරන ලද නඩත්තුව නිම වූ පසු, අළුතෙන් ලිහිස්සුම් තෙල් දැමීම අනිවාර්ය වේ.

ඉහත කී සියලුම ආකාරයේ දෝෂ පැමිණිවිට, සාමාන්‍ය නඩත්තු කටයුතු වලින් ඒවා මඟ හැරිය නොහැකි බව පෙනෙන විට, වාහනයේ ගෑස්කට් එකෙන් මෙන්ම වෑල්ව්ස් වලින් කරන කාර්යයන් නොකෙරෙන බවට අනුමාන කල හැක. ඔබ තරමක් වාසනාවන්තයෙක් නම්, මේ ප්‍රශ්නය ඇතිවෙන්නට ඔයිල් කූලරය හේතුවක් වෙන්නට ඉඩ ඇත. ඔයිල් කූලරය යනු; වාහනයේ ලිහිස්සුම් තෙල් සිසිලණය සඳහා භාවිතා කරන උපකරණයකි.  (රූපසටහන් අංක 1 බලන්න) මේ ආකාරයේ ඔයිල් කූලර හැම වාහනයකම නැති බව සලකන්න. එහි එක පැත්තකින් රත්වූ තෙල් එන අතර, අනෙක් පැත්තෙන් වතුර නිසා සිසිලණය වූ තෙල් එළියට පැමිණේ. මේ කූලරය ඇතුලේම, රේඩියේටරයේ සිසිල් දෙසින් එන ජලය ඇතුලට ගොස් ඉහත කී රත්වූ තෙල් නිසා රත් වූ ජළය ඉවතට පැමිණේ. ඔයිල් කූලරය සම්පීඩනය කර, රැයක් එළිවන තුරු තැබීම මගින්, ඔයිල් සහ ජළය කළවම් වෙයි සොයා ගත හැක. එහි පීඩනයේ වෙනසක් ඇති නොවේ නම්, ඔයිල් කූලරය හොඳ තත්වයේ වේ.

Oil coller

රූපසටහන් අංක 1: Porsche Carrera 911 කාරයේ ලිහිස්සුම් තෙල් සිසිලණ උපාංගය

ඔයිල් කූලරයේ දෝෂයක් නොමැති බව තහවුරු නම්,  ගෑස්කට් එක දෙස ඉන් පසු බැලිය යුතුය. ගෑස්කට් එක යනු, එන්ජින් බ්ලොක් එකත්, හෙඩ් එකත් අතර ඇති පැතලි ශීට් එකක් වැනි දෙය වේ. (රූපසටහන් අංක 2 බලන්න) ‘වාහනයේ ගෑස්කට් ගිහින්’ කියන දෙය කාර්මිකයෙක් නොවන සාමාන්‍ය කෙනෙක් වුවද කියන දෙයකි. මෙය නම් විශාල හෙනහුරු අපලයකි.ගෑස්කට් ගිය විට සිදුවිය හැකි දේවල් කිහිපයක් නම්,

1. අක්‍රමවත් දහන පහරවල්.
2. සිලින්ඩර වල සම්පීඩිත ප්‍රමාණය වෙනස් වීම.
3. ECU එක මගින් පෙන්වන විවිධ දෝෂ.
4. මැනින්ෆෝල්ඩ් වල තෙල් ලීක් දැකීමට හැකි වීම.
5. එන්ජිමේ උෂ්ණත්වය ඉහළ යාම.
6. වාහනයේ බලය අඩු වීම.
7. දුම් දැමීම සහ වයර් තෙල් වැනි දේ කර වන ආකාරයේ ගඳ ගැසීම.

 

Old gasket

රූපසටහන් අංක 2: එන්ජිමෙන් ගලවා ඉවත් කළ විනාශ වූ පැරණි ගෑස්කට් එකක්

අධික උෂ්ණත්වයකදී, එන්ජිමක බ්ලොක් එක සහ හෙඩ් එක යන කොටස් දෙකෙන් එන්ජින් හෙඩ් එක ඇදවීම වැඩියෙන්ම සිදුවේ. බ්ලොක් එකක් ඇද වුනොත් හෝ බිඳවීමක් වුවහොත්, එම බ්ලොක් එක අළුතෙන් දමනවා හැර වෙන කරන්න දෙයක් නැත. හෙඩ් එක බ්ලොක් එකට වඩා සාපේක්ෂව කුඩා නිසා, අධික උෂ්ණත්වයකදී එහි ඇදවීම් විය හැක. එසේ හෙයින් එය ෆේස් කර ගැනීම අවශ්‍ය වේ.

මේ නඩත්තුවේ කොටසක් ඔබටම කර ගත හැක. එහෙත් මෙය ප්‍රායෝගිකව කිරීම නම්, එතරම් සිත් අදින සුළු දෙයක් නොවේ. ග්‍රීස්, වතුර මජන් වැනි බොහෝ දේ ඔබට අත පත ගාන්නට සිදුවෙනු ඇත. මුලින්ම කල යුත්තේ වාහනය හරියට පාක් කර, රේඩියේටර් කූලන්ට් ඉවත් කිරීම සඳහා එයට අදාළ කරාමය ඇරීමය. සමහර වාහන වල කූලන්ට් ඉවත් කරන ආකාරයේ කරාම නැත. ඒ ආකාරයේ වාහන වල පහළම ඇති හෝස් බටය ගලවා කූලන්ට් ඉවත් කරන්න. දැන් හෙඩ් එකට ඉහල ඇති බට, ඉන්ටේක් -එක්ශෝර්ස්ට් මැනින්ෆෝල්ඩ්, සහ නොයෙක් ආකාරයේ එන්ජින් කවර සහ ටැපට් කවරයෙන් ආරම්භ කර හෙඩ් එක ගලවා ගන්න. සමහර වාහන වල ටයිමින් චේන් එක සහ ටෙන්ශර්නර් ඉවත් කිරීම, හෙඩ් ගැලවීමට පෙර කල යුතු වේ. මේ සඳහා සමහර අවස්ථාවල් වලදී විශේෂ ආයුධ පාවිච්චි කල යුතු වේ. එම නිසා එක් එක් වාහනය සඳහා ක්‍රම, වෙනස් අයුරු නිසා, වාහන නිෂ්පාදකයාගේ පොත (Instruction manual) පරිශීලනය කිරීම මැනවි.

හෙඩ් එක ගැලවූ පසු ඔබට ගෑස්කට් එකේ තත්වය දකින්නට ලැබෙනු ඇත. මුල් කාලයේ ගෑස්කට් තනා තිබුනේ තබ (Copper) වලින් වුවද අද කාලයේ ගෑස්කට් එයට වඩා සංකීර්ණව තනා ඇත. බොහෝ නවීන ගෑස්කට් වල ෆයිබර් අඩංගුය. එසේ හෙයින්, ඒවා ගලවන විට ඉතා ප්‍රවේශම් විය යුතුය. එනම් ආශ්වාසයේදී මේ ෆයිබර් සියුම් කොටස් පෙනහළු වලට යාම සෞඛ්‍යමය වශයෙන් අනතුරු දායකය. මුහුණු ආවරණයක් දමා මෙය කිරීම මැනවි. තවද මේ කැඩී යන කොටස් ලිහිස්සුම් තෙල් සහ වතුර එන-යන මාර්ඝ අතරට නොයන ලෙස ගෑස්කට් එක ගැලවීම වැදගත් වේ. ‘එයිරෝසොල් ගෑස්කට් රිමුවල්’ වර්ගයේ ද්‍රාවණයක් භාවිතා කිරීම සුදුසුය.

පැරණි ගෑස්කට් එක ඉතා පරීක්ෂාවෙන් ගලවන්න. එයට යට ඇති පෘෂ්ට නිරීක්ෂණය කරන්න. (ගෑස්කට් ගිය එන්ජිමක ගෑස්කට් ගැලවූ පසු පෙනන ආකාරය රූපසටහන් අංක 3 හි පෙන්වා ඇත.) එහෙත් ගෑස්කට් එකේ කැඩී ගිය කෑලි පරණ ස්කුරුප්පු නියන් හෝ, පිහි තුඩු වැනි දේවල් වලින් ගලවන්න යාම නුවණට හුරු දෙයක් නොවේ. ඇත්ත වශයෙන්ම, මෙතනින් එහාට හෙඩ් එක ෆේස් කිරීම සඳහා පළපුරුදු ලියවන පට්ටල් කරුවෙක්ට බාර දිය යුතු වේ. Profilometer වැනි සංකීර්ණ ඉලෙක්ට්‍රොනික මෙවලම් භාවිතා කරන ලංකාවේ ඉතා දක්ෂ ලියවන පට්ටල් කරුවන් සිටී. ඔවුන් නම් වශයෙන් මෙහි සඳහන් කල නොහැකි බව කරුණාවෙන් තේරුම් ගන්නා මෙන් ඉල්ලමි. හෙඩ් එක ෆේස් කිරීම, වාහනයේ තත්වය (Specification) අනුව ඉතා කල්පනාවෙන් කල යුතු දෙයකි. කිසියම් හේතුවක් නිසා ඕනාවට වඩා හෙඩ් ෆේස් වුවහොත්, ඒ ඉවත්වන ලෝහ නැවත හෙඩ් එකට එකතු කල නොහැක. ඇළුමීනියම් හෙඩ් ඇද වීමේ සම්භාවිතාවය වැඩි වේ. එහි ඇදවීම පියැවී ඇසට දැක ගත නොහැකි වේ. එසේ හෙයින් ඒවා ෆේස් කිරීමට පෙර ඇද ඉවත් කිරීම වැදගත් වේ. මේවා එකක්වත්, අඩුම තරමේ මිලින් මැෂිමක් නැති සාමාන්‍ය වැඩපොළක කර ගැනීමට නොහැක. අන්තිමට කල යුත්තේ හෙඩ් එක සම්පීඩනය කිරීමය. එයින් හෙඩ් එකේ ඇසට නොපෙනන ආකාරයේ බිඳීමක් (Microscopic fracture) ඇත්නම් සම්පීඩිත පරීක්ෂාව (Pressure test) මගින් සොයා ගත හැක. මෙහි ප්‍රතිපලය පට්ටල් වැඩපොලෙන් දැනගත හැක.

 

Gasket damaged head

රූපසටහන් අංක 3: ගෑස්කට් ගිය එන්ජිමක ගෑස්කට් ගැලවූ පසු පෙනන අයුරු

දැන් කල යුත්තේ වෑල්ව් ග්‍රයින්ඩ් කිරීමය. වෑල්ව් ඉවත් කිරීම සඳහා අවශ්‍ය නියම ආයුධ භාවිතා කිරීම වැදගත්ය. පරණ බාස් උන්නැහේලා නම් වෙන ක්‍රම භාවිතා කලහ. මුල් කාල වල නම් බස් එන්ජින් වුවද ග්‍රයින්ඩ් කලේ අතිනි. එහෙත් අද යුගයේ වඩාත් නිරවද්‍ය ලියවන පට්ටල් ඇති නිසා, මේ සම්බන්දව කරදර විය යුතු නොවේ. මේ අවස්ථාවෙන් පසුව, එම වෑල්ව් වල ඇති සීල් අළුතෙන් දැමීම කල යුතු වේ. හෙඩ් එක ගැලවීමකදී පමණක් මෙය කල හැකි නිසා, ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත යුතුය. එසේ නොමැති නම්, ලිහිස්සුම් තෙල් වෑල්ව් බඳ දිගේ විත් පිච්චී සුදු පැහැ දුම් ඇතිවිය හැක. මේ ආකාරයේ සියළු නඩත්තු කටයුතු නිමවූ පසු, සියලු කොටස් පෙට්‍රල් වලින් සේදිය යුතු වේ. සාමාන්‍යයෙන් දැමීමට අපහසු ප්ලග්ස්, (හැම වාහනයකම නොවේ.) හෝස් වැනි සියලුම දේ අලුතෙන්ම දැමීම වැදගත් වේ.

ලලිත් කරුණාරත්න

(නවතම ලිපි ගැන ඊමේල් මගින් දැනගන්න දකුණුපස ඇති පෝරමය පුරවා විදුලොවින් සාමාජිකත්වය ලබා ගන්න )

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *