Home » ලොව වටා තොරතුරු » ලොව ප්‍රථම මියගිය හදවත් බද්ධය

ලොව ප්‍රථම මියගිය හදවත් බද්ධය

සාමාන්‍යයෙන් හදවත් බද්ධය (transplant) සිදුකිරීමේදී හදවත ලබා ගන්නේ මොළය මිය ගිය එහෙත් හදවත මිය නොගිය දායකයෙකුගෙන්. නමුත් ලෝකයේ පළමු වතාවට සම්පුර්ණයෙන්ම මියගිය හදවත් දෙකක් සාර්ථකව රෝගීන් දෙදෙනෙකුට බද්ධ කිරීමට ඕස්ට්‍රේලියාවේ ශාන්ත වින්සන්ට් (St Vincent) රෝහලේ වෛද්‍යවරු සහ වික්ටර් චැන්ග් හදවත් පර්යේෂණ ආයතනයේ පර්යේෂකයින් සමත් වී තිබෙනවා (Victor Chang Cardiac Research Institute). මෙම බද්ධය සඳහා භාවිතා කල හදවත්, බද්ධය සිදු කිරීමට අඩුම තරමින් මිනිත්තු 20කට වත් කලින් මියගිය හදවත් බව තමයි පර්යේෂකයින් පවසන්නේ.

heart1

සිරුරින් ඉවත් කර ගත් හදවත යලි බද්ධ කිරීමට පෙර ආරක්ෂා කර ගන්න අයුරු

මොළය මියගිය, එහෙත් හදවත ක්‍රියා කරන රෝගීන් සිටින්නේ ඉතාම සීමිත පිරිසක්. මේ නිසා දැනට පවතින ක්‍රමය අනුව හදවත් බද්ධය සිදු කළ හැකි වන්නේ ඉතාම සීමිත පිරිසකට පමණයි. වික්ටර් චැන්ග් පර්යේෂණායතනයේ විධායක අධ්‍යක්ෂ බොබ් ග්‍රැහැම් මහතා පවසන්නේ මෙම නව ක්‍රමවේදය අනුව අනාගතයේදී සාර්ථක හදවත් බද්ධය 30%කින් පමණ ඉහල නැංවිය හැකි වන බවයි.

මීට මාස කිහිපයකට පෙර මයිකල් ග්‍රිබිලර් නම් 57 වියැති හදවත් රෝගියෙකුට මුලිම මෙසේ මිය ගිය හදවතක් බද්ධ කර ඇති අතර දැන් ඔහු සුවය ලබමින් සිටි. දෙවැනි හදවත් බද්ධය සිදු කර ඇත්තේ මිට සති දෙකකට පමණ පෙර වන අතර එම රෝගියාද දැන් සුවය ලබමින් සිටින බව පැවසේ.

මියගිය හදවත කල් තබා ගැනීම සඳහා කල් තබා ගැනීමේ ද්‍රාවණයක් නිර්මාණය කිරීමට පර්යේෂකයින් සමත් වී ඇති අතර මෙම ද්‍රාවණය තුල හදවත ඇති විට රුධිර පරිවහනයක් සිදු නොවුනද හදවත හොඳ සෞඛ්‍ය මට්ටමේ පවත්වා ගත හැකියි.

මේ පර්යේෂණ වල සාර්ථකත්වය හදවත් රෝගීන්ට ජීවිතය ගැන අලුත් බලාපොරොත්තුවක් එක් කරනු ඇති.

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *