Home » විශේෂාංග » බලශක්ති » හයිඩ්‍රජන් වාහන පිළිගන්නට ලහි ලහියේ සැරසෙන එංගලන්තය

හයිඩ්‍රජන් වාහන පිළිගන්නට ලහි ලහියේ සැරසෙන එංගලන්තය

විදුලොවින් ෆේස්බුක් පිටුව හරහා වගේම මේ වෙබ් අඩවිය තුලිනුත් අපි බොහෝ අවස්ථා වල හයිඩ්‍රජන් ඉන්ධන තාක්‍ෂණය ගැන කතා කර තියෙනවා. ඒ නිසා ඔබ විදුලොවින් සමග නිරන්තරයෙන් සම්බන්ධ වන කෙනෙක් නම් මේ තාක්‍ෂණය ගැන යම් මට්ටමක දැනුමක් අනිවාර්යයෙන්ම ඔබ සතුව මේ වන විට තිබිය යුතුයි.

ඉදිරි වසරක දෙකක කාලය තුල සිය හයිඩ්‍රජන්  වාහන මොඩල වෙළඳපොළට නිකුත් කිරීමට ටොයෝටා, හයිඋන්ඩායි, බෙන්ස් වැනි සමාගම් මේ වන විට සියලුම කටයුතු සුදානම් කර තිබෙන්නේ. නමුත්, හයිඩ්‍රජන් වාහන සඳහා අවශ්‍ය වන හයිඩ්‍රජන් ඉන්ධන පිරවුම් හල් තවමත් තියෙන්නේ ඉතාම සීමිත ප්‍රමාණයක්. මේවා වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ. මෙය දැනට තිබෙන බරපතල ගැටළුවක්.

හයිඩ්‍රජන් H2carවාහන මහා මාර්ග වෙත පිවිසීම මුලින්ම ඇමෙරිකාව, දකුණු කොරියාව, එංගලන්තය, සහ ජපානය වැනි රටවලින් ආරම්භ වේවි. මේ සඳහා මෙම රටවල් මේ වන විට ලහි ලහියේ සුදානම් වෙනවා. මේ අතර පසුගිය දා එංගලන්ත රජය මගින් හයිඩ්‍රජන් පිරවුම්හල් 15ක් ඉදිකිරිම සඳහා ස්ටර්ලින් පවුම් මිලියන 11ක මුදලක් වෙන් කර තිබෙනවා. ඇත්තටම මෙම මුදලින් මිලියන 7.5ක් සෘජුවම රජය මගින් සපයන අතර ඉතිරි මිලියන 3.5ක මුදල සපයන්නේ විවිධ සමාගම් මගින්.

මෙම පිරවුම්හල් සියල්ලම 2015 වසර අවසන් වීමට ප්‍රථම සාදා නිම කිරීමට තමයි ඔවුන්ගේ සැලසුම. UKH2Mobility නම් ක්‍රියාදාමය තුලින් දීප ව්‍යාප්තව හයිඩ්‍රජන් පිරවුම් හල් 65ක් ඉදිකිරීමට අපේක්ෂිත අතර ලබන වසර අවසන් වන විට ඉදිකර අවසන් කරන මෙම පිරවුම්හල් 15 එම ඉලක්කයට හොඳ ආරම්භයක් වනු ඇති.

වසර 2040 වන විට එංගලන්තයේ මාර්ග වල ධාවනය වන වාහන අතිශයින්ම පරිසර හිතකාමී වාහන පමණක් බවට පත් කිරීම තමයි ඔවුනගේ අරමුණ. මේ ඉලක්කය වෙත ලඟාවීම සඳහා plug-in hybrid වාහන, සම්පුර්ණයෙන්ම බැටරි විදුලියෙන් ධාවනය වන වාහන වගේම හයිඩ්‍රජන් වාහන යන පරිසර හිතකාමී වාහන ප්‍රවර්ධනය කිරීම සිදු වනු ඇති.

ප්‍රවාහන කටයුතු වලදී විශාල වශයෙන් පරිසර දූෂණය සිදු කරන කාර්මික රටවල් මෙසේ පරිසර හිතකාමී ප්‍රවාහන පද්ධතියක් කෙරෙහි යොමු වීම සමස්ත ලෝකයාගේම හෙට දිනය සුභදායි කරනු ඇති.

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *