Home » දැනුමට යමක් » MRI ස්කෑන් පරීක්‍ෂාව ඔබට සුදුසුද? (MRI ලිපි අංක 2)

MRI ස්කෑන් පරීක්‍ෂාව ඔබට සුදුසුද? (MRI ලිපි අංක 2)

MRI ස්කෑන් පරීක්ෂාවක් යනු ඉතාම අධි තාක්‍ෂණික සහ ඉතා ආරක්ෂාකාරී රෝග පරීක්ෂාවක් බව අපි මිට පෙර ලිපියෙන් ඉදිරිපත් කළෙමු. ගැබිණි මව්වරුන්ට (දරු ගැබට තුන් මසකට වැඩි) සහ කුඩා දරුවන්ට පවා සිදුකර ගත හැකි වූ ඉතා ආරක්‍ෂිත මෙම ස්කෑන් පරික්ෂාව ඇතැම් පුද්ගලයින්ට සිදු කර ගැනීමට අවස්ථාව නැහැ. මේ ලිපියෙන් අපි සාකච්චා කරන්නේ MRI ස්කෑන් පරීක්ෂාවක් සිදු කර ගත නොහැකි අවස්ථා ගැනයි.

MRI ස්කෑන් යන්ත්‍රයක් තුලදී රෝගියෙකු ඉතා තීව්‍ර චුම්භක ක්ෂේස්ත්‍රයකට භාජනය වෙන බව අප මිට පෙර ලිපියෙන් සාකච්චා කළා. මේ නිසා රෝගියා සිරුර තුල ලෝහ කොටස් තිබේ නම් ඔහුට හෝ ඇයට MRI ස්කෑන් පරීක්ෂාවක් සිදු කර ගැනීමට නොහැකි වීමට ඉඩ තිබෙනවා. නමුත්, ශරීරයේ ලෝහ කොටස් තිබීම MRI ස්කෑන් පරික්ෂාවකට ස්ථිර නුසුදුසකමක් ලෙසින් පුර්ව නිගමනයකට එළඹෙන්නට අපට හැකියාවක් නැහැ. එය නිගමනය කල යුත්තේ ඒ සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හෝ තාක්ෂණ ශිල්පියෙකු (radiographer) පමණයි. රෝගියෙකුගේ වගකීම වන්නේ තමන්ගේ ශරීරය තුල ලෝහ කොටස් ඇත්නම් ඒ බව ඉතා පැහැදිලිව සහ හැකි තරම් නිවැරදිව වෛද්‍යවරයාට දැනුම් දීමයි. රෝගියාට හරි හැටි වැටහීමක් නැති නම් තම සිරුරේ තිබෙන ලෝහ කොටස ගැන, ඒ ගැන නිවැරදි තොරතුරු දැනගන්නට X කිරණ පරීක්ෂාවක් සිදු කර ගන්න පුළුවන්.

මීළඟ වැදගත් කරුණ වන්නේ MRI ස්කෑන් පරීක්ෂාවක් කර ගැනීමේ අවස්ථාව රෝගියෙකුට මගහරවන ශරීරයේ ස්ථාපනය කර ඇති ලෝහ කොටස් මොනවාද යන්නයි. පහත තිබෙන්නේ එවන් ශරීරයේ ස්ථාපිත ලෝහ කොටස් ලැයිස්තුවක් – මෙය බහුලවම දකින්නට ලැබෙන උපාංග ලැයිස්තුවක් පමණි.

  1. Pacemaker හෝ cardioverter-defibrillator (ICD) – මෙය ඇතැම් හදවත් රෝගීන්ගේ හදවතේ ස්පන්දනය ක්‍රමානුකුලව සිදුකිරීම සඳහා සිරුර තුල ස්ථාපනය කරන උපකරණ දෙකකි. (රූප සටහන් 1)
  2. අස්ථි බිඳීමකදී අස්ථි එකිනෙක හා සම්බන්ද කිරීමට ලෝහ පතුරු, ඇණ, කම්බි වැනි දේ යොදා ඇති විට
    pacemaker

    රූප සටහන් 1: Pacemaker

  3. Nerve simulator – දීර්ග කාලින ස්නායු වේදනා වලින් පෙලෙන පුද්ගලයින්ගේ සිරුරේ ස්ථාපනය කරන උපාංගයකි.
  4. Cochlear implant – ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන් පළඳින hearing aid වැනි සිරුර තුල ස්ථාපිත උපාංගයකි
  5. Drug pump implant – සිරුර තුල ස්ථාපිත වේදනා නාශක උපාංගයකි.
  6. Brain aneurysm clips – පිපිරීමට අවධානමක් ඇති මොළයේ රුධිර නාල සඳහා භාවිතා කරන ලෝහ ඇමිනුමකි.
  7. Eye implants – ඇසේ ස්ථාපනය කරන කුඩා ලෝහ පතුරු වැනි දෙයකි – බොහෝ විට දෘෂ්ඨිවිතානය නිසි තැන තැබීම සඳහා මෙවැනි දේ භාවිතා කරයි.
  8. Intrauterine device (IUD) – ගැබ් ගැනීම් වැලැක්වීම සඳහා ගර්භාෂය තුල ස්ථාපනය කරන ප්ලාස්ටික් සහ තඹ මිශ්‍ර උපාංගයකි. (රූප සටහන් 2)
  9. කෘතීම සන්ධි – දණහිස හෝ උකුල් ඇටය කැඩී ගිය රෝගීන් සඳහා භාවිතා කරයි.
  10. ලෝහ දත් පැළඳ ඇති විට
  11. Tubal ligation clips – ගැබ් ගැනීම වැළක්වීම සඳහා භාවිතා කරන ක්‍රමයකි.
    copper-t-intrauterine-device

    රූප සටහන් 2 :T-intrauterine

  12. Surgical clips or staples – සැත්කමකින් පසු තුවාල වැසීම සඳහා ඇතැම් විට භාවිතා කරයි.

යලිත් අවධාරණය කරන්නේ ඔබ තුල ඉහත උපාංග තිබීම තුලින් ඔබට MRI ස්කෑන් පරීක්ෂාවක් සිදු කර ගත නොහැකි යන වැරදි නිගමනයට නොපැමිණිය යුතු අතර මෙම ලයිස්තුවේ නැති වෙනත් ලෝහ උපාංගයක් ඔබගේ සිරුර තුල තිබීම නිසා ඔබට ස්කෑන් පරීක්ෂාවක් සිදු කර ගන්නට නොහැකි වන්නටද ඉඩ ඇති බවයි. මේ නිසා වැදගත්ම කාරණය වන්නේ ඔබගේ වෛද්‍යවරයා සමග විවෘත්තව සාකච්ඡා කිරීමයි.

තොරතුරු මුලාශ්‍ර: www.nhs.uk (එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය)

පෙර ලිපිය මෙතනින් පිවිස කියවන්න

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *