Home » අධ්‍යාපනික වීඩියෝ » පාවෙන කාන්දම

පාවෙන කාන්දම

මේ විඩියෝවේ පෙනෙන්නට තියෙන්නේ තඹ බටයක් (copper), ඒ මැද්දෙන් අතහරින්නේ ස්ථිර චුම්භකයක් (සරළව කිව්වොත් කාන්දමක්). කාන්දමක් වැනි බර වස්තුවක් නිදහසේ අතහැරියොත් පෘථිවි ගුරුත්වය යටතේ බොහොම වේගයෙන් පහළට වැටෙනවා. හැබැයි මේ වීඩියෝවේ බොහොම පැහැදිළිව පෙනෙන පරිදි, කාන්දම් කැබැල්ල තඹ බටය තුලින් ගමන් කරන අවස්ථාවේදී එහි වේගය බොහෝසෙයින් අඩාල වෙනවා. ඇත්තටම මෙහෙම වෙන්නේ කොහොමද?

මෙහි පදනම බොහොම විද්‍යාත්මක කාරණයක්. අපි ඒ ගැන සරළව අධ්‍යයනය කරමු.

කාන්දමක් වටේ එහි උත්තරධ්‍රැවයේ සිට දක්ෂිණ ධ්‍රැවය දෙසට ගමන් කරන චුම්භක ක්ෂේස්ත්‍රයක් තියෙනවා. කාන්දම තඹ බටය දිගේ පහළට වැටෙන විට තඹ බටයෙන් මෙම චුම්භක ක්ෂේස්ත්‍රය කැපෙනවා. කාන්දම පහලට ගමන් කරන නිසා තඹ බටය මගින් කැපෙන චුම්බක ක්ෂේස්ත්‍රය මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඒ කියන්නේ, තඹ බටය තියෙන්නේ වෙනස් වන චුම්භක ක්ෂේස්ත්‍රයක. වෙනස් වන චුම්භක ක්ෂේස්ත්‍රයක සන්නායකයක් තිබෙන විට එම සන්නායකයේ විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වෙනවා (electromotive force). මෙය සොයා ගත්තේ මයිකල් ෆැරඩේ. මෙන්න මේ අනුව, තඹ බටයේ විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. ධාරාවක් ගමන් කිරීම සඳහා අපි එදිනෙදා දකින ආකාරයේ සංවෘත්ත පරිපථයක් මෙම තඹ බටය හා සම්බන්ධව නැති වුනත් තඹ බටයේ පෘෂ්ඨය මත සුළි ධාරා (eddy current) ඇති වෙනවා. සුළි ධාරාව කියන්නෙත් ගමන් කරන ඉලෙක්ට්‍රෝන ධාරාවක්. වෙනසකට තියෙන්නේ එය ගමන් කරන්නේ පෘෂ්ඨය මත සුළි ආකාරයට ලෙසින් මිසක බැටරියක් සහිත පරිපථයක මෙන් ක්‍රමානුකුල දිශාවකට නෙමෙයි. ගමන් කරන ධාරාව මොන ආකාරයක එකක් වුනත් සන්නායකයක විදුලි ධාරාවක් ගමන් කරන විට එමගින් චුම්භක ක්ෂේස්ත්‍රයක් ගොඩ නැගෙනවා.

වේගය අඩාල වෙන්නේ ඇයි?

විචල්‍ය චුම්භක ක්ෂේස්ත්‍රයක සන්නායකයක් තිබෙන විට එහි විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වන බව ෆැරඩේ සොයා ගත් පසු හෙන්රිච් ලෙන්ස් කියන රුසියානු භෞතික විද්‍යාඥයා මෙම විද්‍යුත්ගාමක බලයේ දිශාව තීරණය වන හැටි සොයා ගත්ත. ඔහුගේ නියමයට අනුව, ප්‍රේරණය වන විද්‍යුත්ගාමක බලයේ දිශාව හැදෙන්නේ එම විද්‍යුත්ගාමක බලය ප්‍රේරණය වීමට බලපෑ චුම්භක ක්ෂේස්ත්‍ර වෙනස්වීමට එරෙහි වන ආකාරයට. බටය හා බැඳුනු චුම්භක ක්ෂේස්ත්‍රය වෙනස් වුනේ කාන්දම පහලට වැටෙන නිසා. මේ නිසා බටයේ විද්‍යුත්ගාමක බලය ඇති වෙන්නේ කාන්දම වැටෙන එක නවතා ගන්න හැකි වන ආකාරයට. (කාන්දම නවතා ගන්නේ කාන්දමේ චුම්භක ක්ෂේස්ත්‍රය සහ සුළි ධාරා මගින් ඇති කරන චුම්භක ක්ෂේස්ත්‍රය එකිනෙක විකර්ෂණය කර ගැනීම නිසා) මෙන්න මේ විදියට තමයි කාන්දමේ වේගය අඩාල වෙන්නේ. (හැබැයි කාන්දම සම්පුර්ණයෙන්ම නතර වෙන්නෙත් නැහැ. කාන්දම නතර වුනොත් සුළිධාරා නවතිනවා, සුළි ධාරා නැවතුනොත් එමගින් ඇති කරන චුම්භක ක්ෂේස්ත්‍රය නැති වෙනවා. එහෙම නැති වුනොත්, කාන්දමේ ගමනට එරෙහි බලයක් නැති වෙනවා. එතකොට කාන්දම ආයෙත් වැටෙන්න ගන්නවා.)

මේ පරික්ෂණය ම ඔබට ඇළුමිනියම් බටයකිනුත් කරන්න පුළුවන්. තඹ මෙන්ම ඇළුමිනියම් ද කාන්දම ට ඇලෙන්නේ නැහැ; ඒවායේ චුම්භක ගුණ ඉතාම දුර්වලයි. යකඩ බටයකත් මේ සිදුවීම සිදු වුනත් ඔබට එය දකින්න ලැබෙන්නේ නැහැ. එයට හේතුව තමයි, කාන්දම බිමට වැටෙන්න නැතුව යකට බටයේ බිත්තියට ඇලෙන නිසා..

මෙන්න මේ ක්‍රියාවලිය තමයි සුලිධාරා තිරිංග වලට පදනම වෙන්නේ.

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *