Home » අධ්‍යාපනික වීඩියෝ » මැග්නස් ඉෆෙක්ට් (Magnus effect)

මැග්නස් ඉෆෙක්ට් (Magnus effect)

මේ විඩියෝවෙන් පැහැදිලි කරන්නේ බොහොම අපූරු භෞතික සිද්ධාන්තයක්. ඒක තමයි මැග්නස් ඉෆෙක්ට් (Magnus effect). ක්‍රිකට් පන්දුවක්, පාපන්දුවක්, ගොල්ෆ් බෝලයක් වැනි දෙයක් ගුවනේ දෝලනය වෙන හැටි ඔබ දැක ඇති. මේ සිදුවීම පිටුපස තියෙන සංසිද්ධිය තමයි මේ මැග්නස් ඉෆෙක්ට් එක. මේ වීඩියෝව ඔබට තිළිණ කරන්නට ලබා දුන් ප්‍රමුදිත දොඩන්ගොඩ ට ස්තුතිවන්ත වන ගමන්ම අපි බලමු මොකක්ද මෙතන වෙන්නේ කියල.

මේ වීඩියෝව ආරම්භයේදී බාස්කට්බෝල පන්දුවක් ඉතා උස වේල්ලක සිට නිදහසේ අතහරිනවා. මෙහිදී එම පන්දුව එහි ගමන් මාර්ගයේ පුංචි වෙනසක් පමණක් සිදුවී අතහැරිය තැනට හරියටම පහල තැනකට ආසන්න තැනකට වැටෙනවා. මෙහිදී පන්දුවේ ගමන් මාර්ගය වෙනස් වෙන්න බලපාන්නේ පහල තියෙන සුලන් වැනි කාරණා. නමුත්, එවැනිම පන්දුවක් කරකවමින් පහලට අතහරින අවස්ථාවේදී එම පන්දුව තමන්ගේ ගමන් මාර්ගය ඉතා විශාල ලෙස වෙනස් කරමින් අතහැරිය ස්ථානයේ සිට බොහෝ ඈතට ගොස් තමයි වැටෙන්නේ. මෙලෙස කරකවමින් අතහැරිය පන්දුව සිය ගමන් මාර්ගය වෙනස් කර ගන්නේ මැග්නස් බලපෑම හේතුවෙන්. ඕනෑම ගෝලාකාර හෝ සිලින්ඩරාකාර වස්තුවක් තරලයක (fluid) කරකැවෙමින් ගමන් කරන විට මෙම බලපෑම ඇති වෙනවා. ක්‍රිකට් පන්දුවේ සිදුවන්නේත් මෙයයි. ඉහත පන්දුව ආශ්‍රයෙන්ම අපි මෙය තේරුම් ගන්න උත්සාහ කරමු.(මෙය වීඩියෝවේ ඉතා හොඳින් පැහැදිලි කර ඇත.)

පන්දුව වායුගෝලයේ ඉදිරියට ඇදීම අපිට දකින්න පුළුවන් පන්දුව පසුකර වායු ධාරාවක් ගමන් කරනවා වගේ (පන්දුවට සාපේක්ෂව චලිතය අධ්‍යයනය කලොත්). පන්දුව කරකැවෙනවිට එහි එක් අර්ධයක් මෙම වායු ධාරාවේ ගමන් දිශාවටත් අනෙත් අර්ධය වායු ධාරාවේ ගමන් දිශාවට විරුද්ධ දිශාවටත් චලනය වෙනවා.මේ නිසා, වායු ධාරාවේ ගමන් දිශාවට විරුද්ධව කරකැවෙන පැත්තේ ඇති වායු ධාරාවේ වේගය අඩාල වීමකුත්, වායු ධාරාවේ දිශාවටම කරකැවෙන පැත්තේ ඇති වායු ධාරාවේ වේගය වැඩි වීමකුත් සිදුවෙනවා. එනම්, පන්දුවේ දෙපස ඇති වායු ධාරාවන් දෙක එකිනෙකට වෙනස් වේග වලින් තමයි පන්දුව පසු කර යන්නේ. මෙම වායු ධාරාවන්ගේ වේග වෙනස නිසා වැඩි වේගයෙන් වායු ගමන් කරන පැත්තේ පීඩනය අඩුවී අඩු වේගයෙන් ගමන් කරන පැත්තේ පීඩනය වැඩි වෙනවා (බර්නුලි මුලධර්මය ගැන කියවන්න). මෙම පීඩන වෙනස නිසා පන්දුව මත එහි ගමන් දිශාවට ලම්භක දිශාවකට බලයක් ඇති වෙනවා. මෙන්න මේ බලය නිසා තමයි පන්දුවේ ගමන් මාර්ගය වෙනස් වෙන්නේ.

මෙම මැග්නස් ඉෆෙක්ට් එක ක්‍රීඩාවේදී පමණක් නෙමෙයි නැව් ආදිය සඳහාත් භාවිතා කරනවා. ඒ ගැන විස්තර මේ වීඩියෝවේ තිබෙනවා.
(මේ ගැන ගැඹුරු විද්‍යාත්මක පැහැදිලි කිරීම් අන්තර්ජාලයේ ඕනෑතරම් තිබෙනවා – මෙය සරළ පැහැදිලි කිරීමක් පමණි)

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *