Home » Research that Matters » මාස 8ක් සිරගත වන පර්යේෂණය

මාස 8ක් සිරගත වන පර්යේෂණය

හවායි දූපතේ හුදෙකලා බිම් පෙදෙසක ඉදිවුණු වර්ග අඩි දහසක කුඩා  කුටීරයක් තුලට පසුගිය ඔක්තෝබර් 15 වන බදාදා පර්යේෂකයින් තිදෙනෙක් පදිංචියට ගියා. ඒ මාස 8ක කාලයකට. මේ ඡායාරූපයේ පෙන්වන්නේ එම කුටිරයයි. එක් කුඩා ජනේලයක් පමණක් ඇති මේ කුටීරය අඩි 36ක පළලින් යුතු අතර මහල් දෙකකින් සමන්විතයි. පහත මාලයේ කුස්සියක්, කෑම කාමරයක්, කාර්යාල කාමරයක් (working area), නාන කාමරයක් සහ විද්‍යාගාර උපකරණ ගබඩා කර තැබීම සඳහා ඉඩ පහසුකම් ඇති අතර ඉහල මාලයේ ඉතා කුඩා නිදන කුටීර තුනක් සහ කුඩා නාන කාමරයක් ඇත. මේ මාස 8ක කාලය තුල මෙම කුටියෙන් අඩියක් වත් පිටට තියන්න මේ පිරිසට අවසර නැහැ.

Image01

අඟහරු කුටීර අනුරුව

මෙම පර්යේෂකයින් තිදෙනා (වඩා නිවරදිවක් කිව්වොත් මොවුන් පර්යේෂණ නියැදියක්) මෙවන් කුඩා කුටීරයක් තුල මෙසේ මාස 8ක් සිරවී සිරගත ජිවිතයක් ගත කරන්නේ අඟහරු ග්‍රහයා මතට මිනිසුන් ගෙන යාමේ මෙහෙයුමේ එක් කොටසක් ලෙසින්. වසර 2030 වන විට අඟහරු වෙත මිනිසුන් රැගෙන යා හැකි වෙතයි කියා තමයි අපේක්ෂා කරන්නේ. මෙසේ රැගෙන යන මිනිසුන්ට ජිවත් වෙන්න වෙන්නේ මෙවැනි කුඩා කුටීර තුල ඉතාමත්ම හුදෙකලා ජිවිතයක් ගත කරමින්. මෙන්න මේ විදියේ හුදෙකලා ජිවිතයක් ගත කිරීමේදී මිනිසුන්ගේ මානසික තත්වය මොන වගේද සහ මොන ආකාරයේ ගැටළු පැන නගී ද යන්න ගැන පර්යේෂණය කිරීමට තමයි මේ පිරිස මෙසේ සිරගත කොට තැබෙන්නේ.

ඇත්තටම මෙහි ගත කරන ජීවිතය සිරගත ජිවිතයකටත් වඩා හුදෙකලා ජිවිතයක්. මෙහි සිටින මිනිසුන් තිදෙනාට බාහිර ලෝකය සමග ගණුදෙනු කළ හැකි එකම ක්‍රමය වන්නේ ඊමේල් මගින්. ඒත් ඔවුන් යවන ඊමේල් පණිවිඩයක් එහි ලබන්නා වෙත යාමට සහ එම ලබන්නා විසින් එවන ඊමේල් පණිවිඩයක් මොවුන් වෙත යන්නත් මින්ත්තු 20ක ප්‍රමාද කාලයක් තියෙනවා. ඒ කියන්නේ, ඊමේල් වලින් චැට් කිරීම වැනි දෙයක් වත් සිදු කරන්න බැහැ. මෙම මිනිත්තු 20ක ප්‍රමාද කාලය තමයි අඟහරු ගේ සිට පෘථිවියට හෝ පෘථිවියේ සිට අඟහරු වෙත හෝ පණිවිඩයක් යැවීම සඳහා ගතවන කාලය.

මෙහි සිටින එක් පුද්ගලයෙකුට දිනකට භාවිතා කළ හැකි උපරිම වතුර ප්‍රමාණය ලීටර් 8යි. ආහාර පිසීම, පානය කිරීම, රෙදි සෝදා ගැනීම සහ අනෙකුත් පිරිසිදු කිරීම ඇතුළු සියලු කටයුතු මෙම ලීටර් 8 භාවිතා කර සිදු කර ගත යුතුයි. මීට අමතරව සතියකට මිනිත්තු 8ක් ස්නානය කළ හැකියි.

දීර්ඝ කාලයක් කල තබාගත හැකි ආහාර මෙම කුටීරය තුල ගබඩා කර ඇති අතර විශාල පිටි වර්ග ප්‍රමාණයක් මේ අතර වනවා. මේ නිසා මෙම කුටීරය තුලම පාන් වැනි පිටි ආහාර හදා ගන්න මේ පිරිසට හැකියාව තිබෙනවා.

මෙවැනි ඉතාම කුඩා කුටීරයක් තුල, අව්ව වත් නොදැක, බාහිර ලෝකය සමග සබඳතා ඉතාම අවම මට්ටමක පවත්වා ගනිමින් සිය නෑදෑ හිතමිතුරන්ගෙන් දුරස්ව මාස 8ක් වැනි දීර්ග කාලයක් ගත කරන විට මොවුන් ප්‍රබල මානසික ආතතීන්ට ගොදුරු වෙනවා.මෙවිට කණ්ඩායමක් ලෙස පොදු අරමුණක් වෙනුවන් එක්ව වැඩ කිරීමේදී බරපතල ගැටළු මතු වෙන්න පුළුවන්. අඟහරු ග්‍රහයා මතට ගගනගාමීන් රැගෙන ගිය විට ඔවුන්ට මෙවැනි තත්වයක් උදා වුනොත් උද්ගතවන්නේ ඉතාම බරපතල තත්වයක්. අන්න ඒ නිසා එම තත්වය හොඳින් අධ්‍යයනය කර ඒ සඳහා කල් ඇතුව පිළියම් යෙදීමේ අරමුණ පෙරදැරිව තමයි මේ පර්යේෂණය සිදු කරන්නේ.

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *