Home » විශේෂාංග » බලශක්ති » පෙට්‍රල්, ඩීසල් වෙනුවට ස්වභාවික වායුව

පෙට්‍රල්, ඩීසල් වෙනුවට ස්වභාවික වායුව

ලෝකයේ සමස්ත බලශක්ති භාවිතාවෙන් තුනෙන් පංගුවක් පමණ වැය වෙන්නේ ප්‍රවාහන ක්ෂේස්ත්‍රය සඳහා (ගොඩබිම්, මුහුදු, සහ ගුවන්). මෝටර් වාහන ගැන සලකා බලනවිට මාර්ග වලට එකතු වන ට්‍රක් රථ වැනි විශාල මෝටර් රථ ප්‍රමාණය දිනෙන් දින ඉහල යනවා. කර්මාන්ත සංවර්ධනය වීම මෙයට එක හේතුවක්. කාරයක් වැනි කුඩා මෝටර් රථයකට වඩා ඉතාම වැඩි ඉන්ධන ප්‍රමාණයක් මෙවැනි විශාල රථ මගින් දහනය කරනවා. මේ නිසා මෙවන් රථ මගින් සිදුවන පරිසර හානියත් විශාලයි.

කර්මාන්ත සංවර්ධනය ද එලෙසම පවත්වා ගනිමින් පරිසරය ද ආරක්ෂා කර ගන්න නම් විකල්ප බලශක්ති ප්‍රභේද වෙත යොමු වෙන්න වෙනවා. කොහොම වුනත් මෝටර් රථ ක්ෂේස්ත්‍රයෙන් අභ්‍යන්තර දහන එන්ජිම් සම්පුර්ණයෙන්ම ඉවත් කරන්න නම් තව දශක ගණනාවක් ගත වේවි. මේ නිසා තමයි මෝටර් රථ සඳහා පෙට්‍රල් හෝ ඩීසල් හැර ඊට වඩා පරිසර හිතකාමී විකල්ප බලශක්ති යොදා ගන්න පර්යේෂකයින් උනන්දු වෙන්නේ.natural gas powered trucks

දිගු දුර භාණ්ඩ ප්‍රවාහනය කරන විශාල ට්‍රක් රථ සඳහා ස්වභාවික වායුව (natural gas) ඉන්ධනයක් ලෙසින් භාවිතා කරන්න ඇමෙරිකාව බොහොම සාර්ථක පියවරක් අරගෙන තිබෙනවා. මේ අනුව class 8 කාණ්ඩයේ ට්‍රක් රථ (එනම්, ඡායාරූපයේ පෙන්වා ඇති විශාල ට්‍රක් රථ) ඉතාම සාර්ථකව ස්වභාවික වායු මගින් ධාවන කරන්න ඇමෙරිකාව සමත්වී තිබෙනවා. මෙමගින් පරිසර හානිය බොහෝ අඩු කර ගන්න හැකියාව තිබෙනවා.

ස්වභාවික වායු භාවිතයට ගන්න ක්‍රම දෙකක් තිබෙනවා. පළමු ක්‍රමය වන්නේ එය ද්‍රව බවට පත් කර භාවිතා කිරීම. මෙය liquefied natural gas (LNG) ලෙසින් හඳුන්වනවා. (ඔබගේ නිවසේ ඇති ගෑස් සිලින්ඩරයේත් තිබෙන්නේ ද්‍රව බවට පත් කල පෙට්‍රෝලියම් වායුව). මෙම ට්‍රක් රථ සඳහා භාවිතා කරන්නේ මෙම ක්‍රමවේදය. අනෙක් ක්‍රමය නම් අධික ලෙස සම්පීඩිත වායුවක් ලෙසින්ම ස්වභාවික වායුව භාවිතා කිරීම. මෙය compressed natural gas (CNG) ලෙසින් හඳුන්වනවා. මෙම ක්‍රමයටත් බස් රථ, ට්‍රක් රථ වැනි දේ ධාවනය වෙනවා.

ඉදිරි දශක කිහිපය තුළ ඇමෙරිකාවේ ස්වභාවික වායුවේ මිල පෙට්‍රල් හෝ ඩිසල් වලට වඩා අඩු අගයක පවතිනු ඇති බව ඇස්තමේන්තු කර තිබෙනවා. මේ නිසා මෙම වාහන තාක්‍ෂණය ඉදිරියේදී තව දුරටත් ප්‍රචලිත වේවි. එමගින් පරිසර හානියත් අඩු වේවි.

(නවතම ලිපි ගැන ඔබට ඊමේල් මගින් දැනගැනීම සඳහා දකුණුපස තීරුවේ ඇති පෝරමය පුරවා විදුලොවින් සාමාජිකත්වය ගන්න.)

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *