Home » දැනුමට යමක් » ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

ඕනෑම දේශයක ජිවත්වන පුද්ගලයකුට එම දේශයේ පාලන ක්‍රමවේදය හෙවත් දේශපාලනය ගැන යම් අවබෝධයක් තිබිය යුතුයි. මෙහිදී දේශපාලනය ලෙසින් හැඳින්වූවේ පක්ෂ දේශපාලනයක් නම් නොවේ. රටක දේශපාලනය කියන්නේ බොහොම පුළුල් මාතෘකාවක්. හැබැයි මේ ලිපියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වන්නේ දේශපාලනය නම් වූ ඒ පුළුල් මාතෘකාව ගැන නෙමෙයි. දේශපාලනය ගැන කතා කිරීමේදී කතා නොකරම බැරි ස්ථානයක් වන පාර්ලිමේන්තුව ගැන තමයි මේ ලිපියෙන් කතා කරන්නේ.

පාර්ලිමේන්තුව කියන්නේ අප රටේ තියෙන ඉතාම උත්තරීතර ආයතනයක්. මෙහෙම කියනකොට ඇතැම් අය අහන ප්‍රශ්නයක් තමයි පාර්ලිමේන්තුව උත්තරීතර නම් එකේ හොරු, වංචාකාරයෝ සහ ඉතාම නුගත් මිනිසුන් ඉන්නේ කොහොමද කියන දෙය. පාර්ලිමේන්තුව උත්තරීතර වෙන්නේ එහි ඉන්න මැති ඇමති වරු නිසා නෙවෙයි. එය උත්තරීතර ආයතනයක් ලෙසින් හඳුන්වන්නේ එය සතු බලතල සහ සහ රටේ අනාගතය  පාර්ලිමේන්තුව කියන මෙම ආයතනය මත රඳා පවතින නිසයි.

රටේ සියලු නීති සම්පාදනය කටයුතු සිදුවන්නේ පාර්ලිමේන්තුව හරහා. මේ නිසා මෙය ව්‍යවස්ථාදායකය (Legislature) යන නමිනුත් හඳුවන්නවා.  සරළවම සඳහන් කලොත්, රටේ අනාගතය බොහෝ දුරට තීරණය වෙන්නේ පාර්ලිමේන්තුව තුලදී ගනු ලබන තීන්දු තීරණ මගින්. දැන් ඔබට හොඳින් පැහැදිළි ඇති පාර්ලිමේන්තුව උත්තරීතර ආයතනයක් ලෙසින් සලකන්නේ ඇයි කියන කාරණය.

parliment

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව (උපුටා ගැනීම http://parliament.lk/)

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව බ්‍රිතාන්‍ය අභාෂය මත ගොඩ නැගුනු දෙයක් වුනත්, වර්ථමාන පාර්ලිමේන්තු ආකෘතිය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ආකෘතියට වඩා වෙනස්. විශේෂයෙන්ම, 1977 ව්‍යවස්ථා සංශෝධනය මෙම වෙනස ඇති කිරීමට මුලික වුනා.

පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන්  225 දෙනෙක් තෝරා පත්කර ගන්නවා. මේ 225න් මන්ත්‍රීවරු 196දෙනෙක්ම තෝරා ගන්නේ මහජන ඡන්දයෙන්. ඒ මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් නියෝජනය කරමිනි. (මැතිවරණ දිස්ත්‍රික්ක සහ පරිපාලන දිස්ත්‍රික්ක යනු දෙකකයි. පරිපාලන දිස්ත්‍රික්ක 25 ක් ඇති අතර මැතිවරණ දිස්ත්‍රික්ක ඇත්තේ 22ක් පමණි.) ඉතිරි 29දෙනා පත්කරන්නේ ජාතික ලැයිස්තුව මගින්. එක් එක් පක්ෂය ලබා ගත් ඡන්ද ප්‍රමාණය අනුව මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු එම පක්ෂ අතර බෙදා දෙනවා. ඒ අනුව, අදාළ පක්ෂ වලට තමන් කැමති පුද්ගලයින් ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට පත්කළ හැකියි.

මෙලෙස තෝරා පත්කර ගන්නා මන්ත්‍රී වරු අතරින් වැඩිම මන්ත්‍රීවරු ප්‍රමාණයක් සිටින පක්‍ෂයට හෙවත් පාර්ලිමේන්තු බහුතරය සිටින පක්ෂයට රටේ පාලනය ගෙනයාම සඳහා ආණ්ඩුවක් පිහිටුවාගන්න පුළුවන්. මෙසේ පිහිටුවා ගන්නා ආණ්ඩුවක උපරිම සේවා කාලය (මෙය පාර්ලිමේන්තු කාලසීමාව ලෙසින්ද හඳුනවනවා) අවුරුදු 6කට සිමා වෙනවා. හැබැයි හැම අවුරුද්දකම, ඊළඟ අයවැය සම්මත කර ගැනීමේ වගකීම ආණ්ඩුව සතු වෙනවා. යම් හෙයකින් අයවැය වාර්තාව සම්මත කර ගැනීමට නොහැකි වුනොත් එම ආණ්ඩුවේ පාලන කාලය අවසන් වන අතර මහමැතිවරණයක් කැඳවා නැවත පාර්ලිමේන්තුවක් පත්කර ගන්න සිදුවෙනවා. මීට අමතරව (දැනට තියන ව්‍යවස්ථාව අනුව) රටේ විධායක ජනාධිපතිවරයාට හැකියාව තියෙනවා ඔහුට අවශ්‍ය විටෙක පාර්ලිමේන්තුව අත්හිටවීමට හෝ විසිරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයකට යාමට. මෙම කරුණු මත ආණ්ඩුවක කාල සිමාව වසර 6කට වඩා අඩු විය හැකියි. 2001 දී පත්වූ ආණ්ඩුව වසර දෙකක් වැනි කෙටි කාලයකට පසු එවකට සිටි ජනාධිපති විසින් විසිරුවාහැරීම මෙයට ලබා දිය හැකි මෑතකාලීන උදාහරණයකි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්/ ඇමතිවරයෙක් කියන රැකියාව කෙතරම් වගකීම් සහිත රැකියාවක්ද කියන දේ ඔබට මේ ලිපිය කියවන විට අවබෝධ වෙන්න ඇති. ඒත් රටේ අවාසානවට දෝ අපේ රටේ ජනතාව මෙතරම් වැදගත්, ඉතාම භාරදූර්ය රැකියාවක් සඳහා බොහෝ විට තෝරා පත් කර ගන්නේ ඉතාම නූගත් පිරිසක් වීමයි. දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු 225න් 142ක් උසස්පෙළ විභාගය අසමත් අතර මේ පිරිස අතරින් 94දෙනෙක් සාමාන්‍යපෙළ විභාගය ද අසමත් වී ඇති අයයි.  (මුලාශ්‍ර :Daily Mirror). මොවුන් සුදුසු වන්නේ පුද්ගලික ආරක්ෂක අංශයේ ආරක්ෂක නිලධාරී තනතුරක් වැනි දෙයකට මිසක  මෙවැනි පරිපාලන රැකියාවකට නම් නොවේ.

මින්පසු ඔබේ වටිනා ඡන්දය භාවිතා කරන විට එය ලබා දෙන්නේ සුදුසු පුද්ගලයෙකුට ද කියන කාරණය හොඳින් අධ්‍යයන කරන්න අමතක කරන්න එපා. කුමන පක්‍ෂයක කාට ඡන්දය දුන්නත්, හොඳ අධ්‍යාපනයක් ඇති අයෙකුට පමණක් එය ලබා දෙන්න. එසේ නොවුනොත් මුළු රටේම අනාගතය අඳුරු කිරීමේ වරදට ඔබ හවුල්කරුවෙකු වනු ඇති.

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *