Home » ලොව වටා තොරතුරු » ප්ලුටෝ ගේ රහස් හෙළි කරන අභ්‍යවකාශ මෙහෙයුම

ප්ලුටෝ ගේ රහස් හෙළි කරන අභ්‍යවකාශ මෙහෙයුම

අභ්‍යවකාශ වංශකතාවේ නව පිටුවක් පෙරළමින්, අවුරුදු 9.5ක කාලයකදී කිලෝමීටර් බිලියන 4.8ක දුර ප්‍රමාණයක් ගමන් කරමින් NASA ආයතනයේ New Horizons අභ්‍යවකාශ යානය ප්ලූටෝ ග්‍රහයා ආසන්නයටම පැමිණ තිබෙනවා . මෙය දැන් තිබෙන්නේ ප්ලූටෝ ග්‍රහයාගේ සිට කිලෝමීටර් 12,472ක් තරම් ආසන්නයේ. මෙය ප්ලූටෝ ග්‍රහයා වෙත මිනිසා මෙතරම් සමීප වූ පළමු අවස්ථාව.

රූප අංක 01හි පෙන්වා තිබෙන්නේ මෙම අභ්‍යවකාශ යානය මගින් පෘථිවියට ඒවා ඇති ප්ලූටෝ ග්‍රහයාගේ ඡායාරූපයක්. මෙය ප්ලූටෝ ග්‍රහයාගේ මෙතෙක් ලබා ගෙන ඇති පැහැදිළිම සහ සමීපතම ඡායාරූපයයි. මෙය ලබාගෙන තිබෙන්නේ ජූලි මස 13 වෙනි දින. ඒඅභ්‍යවකාශ යානය ප්ලූටෝ ග්‍රහයාට කිලෝමීටර් හත් ලක්ෂ හැට අට දහසක් (768,000km) තරම් දුරින් සිටියදී. තරමක් දිළිසෙන සුළු හදවතක් බඳු කොටස හඳුන්වා තිබෙන්නේ හදවත (the heart) ලෙසින්. ප්ලූටෝ ගේ මතුපිට මෙතරම් සුමට ලෙසින් පෙනෙන්නේ කෙසේද යන්න තවමත් හරි හැටි පැහැදිළි කරගෙන නැහැ. මේ වනවිට මෙම යානය ප්ලුටෝට ඉතා සමීපව ඇති බැවින් ප්ලූටෝගේ පෘෂ්ඨයේ ස්වභාවය වඩා හොඳින් පෙන්නුම් කරන ඡායාරූප ඉදිරියේදී පෘථිවිය වෙත ලැබේවි.

pluto-closeup_1024

රූප අංක 1: ප්ලුටෝ ග්‍රහයාගේ සමීපතම ඡායාරූපයක්

මේ වන විට පැයට කිලෝමීටර් 48,280ක පමණ වේගයකින් පියාසර කරමින් තිබෙන හොරයිසන්ස් අභ්‍යවකාශ යානය මෙතෙක් අභ්‍යවකාශගත කල වේගවත්ම යානය බවයි පැවසෙන්නේ. පෙර සඳහන් කළ ඡායාරූපයට අමතරව මෙම යානය එදිනම එවූ තවත් ඡායාරූපයක් තමයි රූප අංක 02 හි පෙන්වා තිබෙන්නේ. මෙය ප්ලූටෝ ග්‍රහයා සහ ඔහුට සමීපතම චන්ද්‍රයා වන Charon ගේ ඡායාරූපයක්.  මෙහි ඇති වර්ණ සැබෑ වර්ණ නෙමෙයි. ග්‍රහයාගේ කොටස් හරි හැටි හඳුනා ගැනීම සඳහා නාසා ආයතනය විසින් කෘතිමව එකතු කල වර්ණ. මෙහි එක් එක් වර්ණයෙන් නිරුපණය වන්නේ එම පෙදෙසේ ඇති අනුක සංයුතිය යි (molecular composition). මේ අනුව, පෙර සඳහන් කළ හදවත බඳු කොටසේ ප්‍රධාන වශයෙන් රසායන සංයුති දෙකක් තිබෙන බව පෙන්නුම් කෙරෙනවා.

false-colour-pluto

රූප අංක 2: ප්ලුටෝ සහ එහි සමීපතම චන්ද්‍රයා (කෘතීම වර්ණ ගැන්වීම් සහිත ඡායාරූපයකි)

ප්ලූටෝ ග්‍රහයාගේ උත්තර ධ්‍රැවයේ මීතේන් සහ නයිට්‍රජන් අයිස් තට්ටුවක් ඇති අතර එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ (-) 233 සහ සෘණ (-) 223 අතර අගයක වෙනස් වෙමින් පවතිනවා.

ඉදිරියේදී ප්ලුටෝ ග්‍රහයාගේ සහ ඔහුගේ අනෙකුත් චන්ද්‍රයන් ගැනත් ගවේශනාත්මක තොරතුරු පෘථිවිය කරා ලඟා වේවි. මේ අතර ප්ලුටෝගේ ත්‍රිමාණ ඡායාරූප (3D images) ද ඇතුළත්. කෙසේ වෙතත්, මෙම හොරයිසන්ස් (Horizons) යානය එකතු කරගත සියලුම තොරතුරු පෘථිවිය වෙත ලබා දීමට තව මාස 16ක පමණ කාලයක් ගත වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. එයට හේතුවක් වන්නේ  මෙම  යානයට දත්ත සම්ප්‍රේෂණය කළ හැක්කේ තත්පරයකට බිට් 2000 – 4000 ක පමණ වේගයකින් පමණක් වීමයි.

ඉදිරි දින වලදී ප්ලුටෝ ගේ අපි මෙතෙක් නොදැන සිටි රහස් බොහොමයක් හෙළි කර ගැනීමට හැකිවේවි. විශ්වය ගැන අපගේ දැනුම තව තවත් වර්ධනය කර ගැනීමට මේ තොරතුරු අතිශයින්ම ප්‍රයෝජනවත් වේවි.

විදුලොවින් –

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *