Home » විශේෂාංග » බලශක්ති » පුනර්ජනනීය බලශක්ති – හැඳින්වීම (Renewable Energy)

පුනර්ජනනීය බලශක්ති – හැඳින්වීම (Renewable Energy)

බලශක්ති විෂය ක්ෂේස්ත්‍ර තුල අද නිතරම කතාබහට ගැනෙන මාතෘකාවක් මෙන්ම අපට නිතර අහන්න දකින්න ලැබෙන මාතෘකාවක් තමයි පුනර්ජනනීය බලශක්ති හෙවත් Renewable Energy යන්න. මෙවන් පසුබිමක සිට, පුනර්ජනනීය බලශක්ති පිලිබඳ කෙටි හැඳින්වීමක් ඔබ වෙත ඉදිරිපත් කිරීම මෙම ලිපියේ අපේක්ෂාවයි.

පුනර්ජනනීය බලශක්ති යන පොදු නාමයෙන් හඳුන්වන්නේ කාලය සමග ක්ෂයවී නොගොස් කෙටි කලකින්ම යලිත් ජනනය වන බලශක්ති ප්‍රභවයන් ය. උදාහරණ ලෙස සූර්ය ශක්තිය, ජල විදුලිය, සුළං බලය, උදම් ශක්තිය, ජීව ඉන්ධන (දර වැනි) ආදිය දැක්විය හැක.

වර්ථමානයේ ඉතාම බහුලව භාවිතා කරන බලශක්ති ප්‍රභවයක් වන පොසිල ඉන්ධන (පෙට්‍රල්, ඩිසල්, ගල් අඟුරු ආදිය මෙයට අයත් වේ) යනු පුනර්ජනනීය ඉන්ධනයක් නොවේ. මෙම ඉන්ධන ක්‍ෂය වන සම්පතක් වන අතර නැවත ඇතිවීම සඳහා වසර මිලියන ගණනක් ගත වෙයි.

අධික ලෙස පොසිල ඉන්ධන මත යැපීම මත මේ වන විට විශාල අර්බුධ රැසක් පැන නගිමින් පවතී. පොසිල ඉන්ධන වල සීග්‍ර ක්‍ෂයවීම අනාගත ලෝකය දැවැන්ත ඉන්ධන හිඟයකට අද දැමීමේ අවධානමක් පවතී. එමෙන්ම පොසිල ඉන්ධන දහනයෙන් පිට වන විෂ වායුන් මේ වන විට බරපතල පාරිසරික අර්බුධ රැසකට මංපෙත් විවර කර ඇත. වායු දුෂණය, ගෝලීය උෂ්ණත්වය ඉහල යාම සහ එමගින් සිදුවන ග්ලැසියර් දියවීම මගින් මුහුදු මට්ටම ඉහල යාම මේ අර්බුද අතර ඇත.

පුනර්ජනනීය සහ පුනර්ජනනීය නොවන බලශක්ති 
(Renewable and Non-Renewable Energy)

පොසිල ඉන්ධන මෙන් නොව පුනර්ජනනීය බලශක්ති ලොව පුරා පැතිර ඇති සම්පතකි. එබැවින් බොහෝ පිරිසකට පහසුවෙන් මෙම බලශක්තියේ ප්‍රයෝජන ගැනීමේ හැකියාව පවතී. ඉතාම සීමිත රටවල් කිහිපයකට පමණක් සිමා වී ඇති වත්මන් බලශක්ති සම්පත නිසා ඇතිවී තිබෙන දේශපාලන මෙන්ම සමාජයීය ගැටළු රැසකටද පුනර්ජනනීය ඉන්ධන භාවිතය පිළිතුරු සපයනු ඇති.

renewable-non-renewable-energy-sources-image

ජලය, සුර්ය තාපය, භූ තාපය වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් බොහෝ විට විදුලිය නිෂ්පාදනයට යොදා ගන්නා අතර ශාක ඇසුරින් නිපදවන ජීව ඉන්ධන (bio diesel) ආදිය වාහන සඳහා, එනම් ප්‍රවාහන ක්ෂේස්ත්‍රයට, භාවිතා කරයි. ඔබ නිවසේ අහර පිසීම සඳහා දර භාවිතා කරයි නම්, ඔබ ද පුනර්ජනනීය බලශක්ති භාවිතා කරන්නෙකි.

තවමත්, ලෝකයේ වෙළඳපොල වෙත පැමිණෙන බලශක්ති වලින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ගෙන් පැමිණෙන්නේ 11% පමණ අඩු ප්‍රමාණයකි. මුළුතැන් ගෙයි කටයුතු සඳහා දර භාවිතා කිරීම පුනර්ජනනීය ඉන්ධන භාවිතයක් වුවත් ඉහත 11% තුල එය නැත. මෙම ප්‍රමාණයද සලකු විට සමස්ත පුනර්ජනනීය ඉන්ධන භාවිතාව 11% ට වඩා තරමක් වැඩි වුවත් එය විශාල ප්‍රමාණයක් නොවේ.

කෙසේ වෙතත්, බලශක්ති බහුලව භාවිතා කරන කාර්මික රටවල් බොහොමයක් මේ වන විට පුනර්ජනනීය බලශක්ති භාවිතයට ගැනීමට අවශ්‍ය තාක්‍ෂණය වැඩි දියුණු කිරීමේ පර්යේෂණ වෙනුවෙන් අති විශාල ලෙස මුදල් ආයෝජනය කරමින් පවතී. මේ අනුව, අනාගතයේදී මෙම බලශක්ති භාවිතාව සැලකිය යුතු ලෙස ඉහල යාවි. සත්‍ය වශයෙන්ම, එවන් දෙයක් සිදු නොවුනොත් සමස්ත ලෝකයටම බරපතල අර්බුධ රැසකට මුහුණ දීමටද සිදු වේවි.

ලෝකයේ දියුණු යැයි සැලකෙන රටවල් පුනර්ජනනීය ඉන්ධන වෙත යොමු වෙද්දී, තමන් දැන් භාවිතා කරන දර ලිප විසිකර ගෑස් ලිපක් ගන්නට පෙරුම් පුරනා බොහෝ දෙනෙක්ද අප අතර ඇති.

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *