Home » විශේෂාංග » මෝටර් වාහන » රේඩියේටරයෙන් කෙරෙන්නේ කුමක්ද?

රේඩියේටරයෙන් කෙරෙන්නේ කුමක්ද?

රේඩියේටරයෙන් කෙරෙන්නේ මොකක්ද කියල කාගෙන් හෝ ඇසුවොත්   “සුළු දෙයක්නේ. එන්ජිම කූල් කරන එකනේ “. වැනි පිළිතුරක් ඔබට බොහෝ විට ලැබේවි. මෙය නිවැරදි පිළිතුරක්. නමුත් මෙවැනි සරළ අරුත් දැක්වීමකින් ඔබ්බට ගිහින් මේ මීවදයක් වගේ ඇතුලාන්තය ඇතිරේඩියේටරය ගැන තරමක් විස්තර සහිතව මේ ලිපියෙන් කතා කරමු.

රේඩියේටරයත් හරියට අපගේ පෙනහළු වගේ. යම් විදියකින් පෙනහැල්ලෙන් කෙරෙන කාරිය හරියට නොකෙරුනොත්, වෙන දේ ඔබ දන්නවා. එසේම රේඩියේටරය මගින් කෙරෙන දේ හරියට නොවුනොත්, වාහනේ හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ විතරක් නොවේ, වාහනේ උෂ්ණත්වය ඉහළ ගොස් ලොකු මිළක් වැයවෙන නඩත්තුවක් කරගන්නත් වේවි. විශාල හානියක දී ගැස්කට් හානි වෙන්න පුළුවන්, එන්ජිමේ කොටස් රත් වී ඇද වී, වැඩකට ගන්න බැරි වෙන්න පුළුවන්. වාහනය ගිනි ගන්න පවා ඉඩ තියෙනවා. මෙසේ වාහනයක රේඩියේටරයක් ඕනා වෙලාවක කැඩී වාහනයට හානි සිදුවෙන්න ඉඩ ඇති නිසා, ඒ ගැන දැන ගැනීම වැදගත් වේවි.

එන්ජිමේ රත්වූ කොටස් සිසිලණය කිරීම රේඩියේටරයෙන් සිදු කරන කාර්යය වෙන අතර, වතුර හෝ වතුර මාධ්‍යයක් ලෙස ගත් ද්‍රවයක්, එන්ජිමත් එම රේඩියේටරයත් අතර සංසරණය වෙනවා. දෙවන මහා ලෝක සංග්‍රාමයට පෙර කාලයේ හුදෙක් වතුර පමණක් මේ සඳහා යොදා ගත්තත්, ශීත රටවල රේඩියේටරයේ ඇති ඒ වතුර ඉක්මනින් මිදීම නිසා, පසු කල වතුර ආශ්‍රිත ද්‍රවයක් භාවිතා කරන්නට පියවර ගත්තා. වැසුනු පරිපථයක (Closed circuit) එන්ජිමත් රේඩියේටරය සමඟ ඇති විට, එම පරිපථයේ, ද්‍රවය සංසරණය කිරීමට පොම්පයකුත් තියෙනවා.

රේඩියේටරය ඇතුලත මී වදයක් මෙන් ඇත්තේ. බොහෝ කුඩා බට ඇතිව තනා ඇති නිසා, රත්වූ වතුර ඉක්මනින් සිසිල් වීමට වැඩි පෘෂ්ටයක් ඇතිවී නිරාවරණය වෙනවා. හරියට උණුසුම් තේ කෝප්පයක ඇති තේ එකක්, පීරිසියකට දැමුවාම ඉක්මනින් සිසිල් වෙනවා වගේ. ඒ වාගේම ඔබ වාහනය සිසිල් අවස්ථාවකදී රේඩියේටර කැප් එක හෙවත් පියන ඇර බැලූ විට, කොළ හෝ රතු පැහැ ද්‍රාවණයක් එහි තියෙනවා පෙනේවි. ඉතින් ඒ වර්ණවත් ද්‍රවයෙන් කරන්නේ, රේඩියේටරයේ ඇති වතුර කිසියම් උෂ්ණයත්වයකදී මිදීමට භාජනය නොවී තිබීමයි. එම හේතුව ශීත රටවලට වඩාත් අදාළ වෙනවා. ඒ නිසා එයට Antifreeze කියනවා.

එමෙන්ම රේඩියේටරය මළකඩ කෑම වැළැක්වීම සඳහා රසායනික ද්‍රව්‍යයක් මිශ්‍ර කර තියෙනවා. එම රසායන ද්‍රව්‍යය, ග්ල්යිකොල් කාණ්ඩයේ, ‘එතිලීන් ග්ලයිකෝල්’ හෝ ප්‍රෝපිලීන් ග්ල්යිකෝල් වෙන්න පුළුවන්. ඉතින් මේ ද්‍රව සංසරණය සඳහා පොම්පයක් අවශ්‍ය වෙනවා. එය සෙන්ට්‍රිෆියුගල් පොම්පයක් (Centrifugal pump) හෙවත් කේන්ද්‍රාභිසාරී පොම්පයක් වෙනවා. මේ ආකාරයේ පොම්ප නියත වේගයකින් ක්‍රියාත්මක වූ කුඩා එන්ජින් වලට අවශ්‍ය වුයේ නැහැ. සමහරවිට වසා නැති වතුර ටැංකියකට යන බට සම්බන්ද කර ඇති, පැරණි වී මෝල් වල ඇති එන්ජින් ඔබ දකින්න ඇති. ඒ ටැංකියේ වතුර පෘෂ්ටයෙන් අවට වාතයට තාපය කාන්දු වෙමින් එම එන්ජිමේ සිසිලණ ක්‍රියාවළිය සිදු කරනවා. රත්වූ වතුර, සිසිල් වතුරට වඩා ඝනත්වයෙන් අඩුයි. එවිට එන්ජිම සිසිලණය කෙරෙන්නේ අර ඉහත කී පරිපථයේ ඇති වතුර ‘සංවහනය’ යන ක්‍රමය හරහා චලනය වීමෙනුයි. එහෙත් එය බලය වැඩිය දෙන, වේගය වෙනස් වන එන්ජින් සඳහා යෝග්‍ය නැහැ.

රත් වී ඇති වාහනයක රේඩියෙටරයේ පියන එකවර විවෘත කරන්න එපා කියන්නේ ඇයි?

මෙය සාකච්චා කරන්න පෙර ස්වභාවිකව සිදුවන ආචරණයක් ගැන සලකා බලමු. මුහුදු මට්ටමේ වායුගෝලීය පීඩනයේ වතුර රත්වී වාෂ්ප වන උෂ්ණත්වයට වඩා, උස කන්දක් උඩ එම වාෂ්ප වීමට අවශ්‍ය උෂ්ණත්වය අඩු වෙනවා. එහෙම වෙන්නේ අඩු පීඩනයක ඉක්මණින් ද්‍රවයක් වාෂ්ප වන නිසා. ඉතින්, වාහනයක රේඩියේටරය ඇතුලේ ඇති ද්‍රවය ඉක්මනින් වාෂ්පයට හැරීම හෝ වාෂ්ප වන උෂ්ණත්වයට ඒම එච්චර ගුණ දෙයක් නොවේ. ඒ නිසා ඉහත කී සංවෘත පරිසරය පුරාම වැඩි පීඩනයක් පවත්වා ගෙන ද්‍රවය, ද්‍රවයක් ලෙසම පවත්වා ගන්නවා. එනම්, වාෂ්ප තත්වයට නොගොස් ද්‍රවය, ද්‍රව අවස්ථාවේම තබා ගන්නවා.

එහෙත් රේඩියේටරය රත් වන විට, ද්‍රවය ප්‍රසාරණය වෙනවා. එවිට කපාටයක් ක්‍රියාත්මක වී එසේ එළියට යා යුතු ද්‍රවය බටයකින් කුඩා ටැංකියකට එක් වෙනවා. වාහනය නැවැත්වූ පසු රේඩියේටරය සිසිල් වෙනවා. එවිට රේඩියේටරය ඇතුලත පීඩනය අඩු වීම නිසා ඒ කුඩා ටැංකියේ ඇති ඒ ද්‍රවය රේඩියේටරය ඇතුලට යනවා. මේ විශේෂ ද්‍රවයට කිසියම් උෂ්ණත්වයක් තීරණය කර තියෙනවා. එමගින් එන්ජිමේ උෂ්ණත්වයද තීරණය වෙනවා. ඒ උෂ්ණත්ව ප්‍රමාණය, රෙකමදාරු කල උෂ්ණත්වයට වඩා ඉහල ගියොත්, වාහනයේ වැඩි උෂ්ණත්වය පෙන්වන මීටරයේ දර්ශකය ඉහළ යාම හෝ ලයිට් එක පත්තු වීම සිදු වේවි. එමෙන්ම රේඩියේටරයේ ඇති මේ ද්‍රවය මගින්, වාහනයේ ලිහිස්සුම් තෙල්ද එක්තරා උෂ්ණත්වයක තියනවා. යම් හෙයකින් ඒ වාහනයේ උෂ්ණත්වය ඉහළ ගියොත්, එම ලිහිස්සුම් තෙල් වල ඇති දුශ්‍රාරාවීතාව සංගුණකය (Viscosity coefficient) වෙනස් වෙනවා. පසුව රේඩියේටර ප්‍රශ්නය නිරාකරණය කර ගත්තත්, අළුතෙන් ලිහිස්සුම් තෙල් නොදැම්මොත් එන්ජිමේ ඇති උපාංග වලට පසුව බරපතළ හානි ඇති වෙන්න පුළුවන්.

රේඩියේටරය මාරු කරන්න වුනොත්… 

ද්‍රවය එන්ජිමේ ඇතුලේ ඇති කුහර හරහා ගොස්, එන්ජිම සිසිලණය කිරීම පමණක් රේඩියේටරයෙන් කරන්නේ නොවේ. ගියර් පෙට්ටියේ ඇති තෙල් පවා බට ඇතුලෙන් ගොස් රේඩියේටරය හරහා ගොස් සිසිලණය වෙනවා. පවර් ස්ටියරින්ග් යාන්ත්‍රණයට භාවිතා කරන තෙල්, ඒ වාගේම වායු සමීකරණය සඳහා අවශ්‍ය සිසිලණය, ටර්බෝ එකකින් එන්ජිමට යන වාතය සිසිලණය, මේ වගේ තවත් හේතුන් සඳහාත් රේඩියේටරය භාවිතා වෙනවා. මෙන්න මෙතනදී එක ප්‍රායෝගික දෙයක් කියන්න වෙනවා. කිසියම් අවස්ථාවක රේඩියේටරය ඉවත් කර අළුත් එකක් දමනවා නම්, ඒ වර්ගයේම එකක් දමන්න. සමහර (මක)බාස් ලා ගියර් පෙට්ටියේ තෙල් සිසිල් කරන බටය ගැන සැලකිලිමත් නොවී, එය වසා දමනවා. එවිට ගියර් පෙට්ටියේ මළගම ඉක්මනින් වෙනවා.

ඉහත සඳහන් හේතු නිසා වාහනයක එක රේඩියේටරයට වඩා තියෙන්නට පුළුවන්. වායු සමීකරණය පාලනය කරන කොටසේ (හෝ කරකවන ඩයලයේ) ඔබ නිල් සහ රතු කොටස් දකින්නට ඇති. ඔබ ඒ රතු කොටසට ඩයලය කරකවුවහොත්, උණුසුම් වාතය වායු සමීකරණ කවුළු හරහා ඒවි. එවිට වෙන්නේ සාමාන්‍ය වාතය එන්ජිමේ උණුසුම් වූ කොටස් හරහා යවා වාහනය ඇතුලට පැමිණීමයි. කෙසේ හෝ එය අවශ්‍ය වන්නේ ශීතල පරිසරයකට පමණයි.

හදිසියේ හරි එන්ජිම රත් වුනොත් (overheat)….

හදිසියේ හෝ රේඩියේටරයේ ඇතුලේ එම ද්‍රවය, වාහන නිෂ්පාදකයා තීරණය කල ප්‍රමාණයට වඩා ඉහළ ගිය බැව් වාහනයේ උෂ්නත්වය මනින දර්ශකයෙන් තේරුම් ගත්තොත් ඔබ කුමක් කරන්නේද ? මෙසේ කලාතුරකින් යෙදෙන අවස්ථාවක් සඳහා, ඔබට මේ උෂ්ණත්වය වැඩි කිරීමෙන් එන්ජිමට වන හානිය බේරා ගන්නට ඉඩකඩ තරමක් ඇති වේවි.

කිසියම් හේතුවක් නිසා එන්ජිම හදිසියේ රත් වුවහොත්, මුලින්ම වායු සමීකරණ ක්‍රමය නවත්වා, ප්‍රවේසමෙන් වාහනය පාරෙන් ඉවත් කරන්න.දැන් වාහනයේ එන්ජිම නවත්වා, බ්ලෝවරය පමණක් ක්‍රියාත්මක කර වාහනයේ වීදුරු ජනෙල් හැර එම වාහනයේ ඇතුල උණුසුම් කරන ඉහත කී වායු සමීකරණය පාලනය කරන ඩයලය වැඩිම රතු පැත්තට කරකවන්න. එවිට වාහනය ඇතුලට වඩ වඩා රත්වූ වාතය එනවා. මෙමගින්, රත්වූ එන්ජිම ඉක්මනින් සිසිලණය කරන්න පුළුවන්. මෙවැනි දේ නිසා හානියක් වැඩියෙන්ම එන්නට හැක්කේ, වී ආකාරයේ (V type) එන්ජින් ඇති වාහන වලයි. හේතුව එම එන්ජිමේ නිර්මාණය අනුවම සාපේක්ෂ වශයෙන් ද්‍රවයකින් මිසක ලෙහෙසියෙන් අවට වාතයෙන් සිසිලණය කිරීම අපහසු නිසා.

පැරණි ‘තල්ලු ෆෝර්ඩ්’, හිල්මන් වගේ වාහන ගලවා ඇති කෙනෙක් මෙසේ නිරීක්ෂණය කරන්න පුළුවන්. හැතැප්ම සීයක් ගිහින් ආවත්, හැතැප්මක් ගියත්, වාහනයේ බොනට් එක ඇර බැලූ විට කියන්න විශේෂ උෂ්ණත්ව වෙනසක් නැහැ. ඒ වගේම විශාල රේඩියේටරයක් එහි තියෙනවා. එහෙත් නුතන වාහනයක බොනට්ටුව ඇර බැලූ විට, විශාල උෂ්ණත්වයක් දැනෙනවා. රේඩියේටරයත් සාපේක්ෂව කුඩායි. මේ වාහන දෙවර්ගයේම ද්‍රවය සංසරණය වීමට පොම්ප තියෙනවා. මේ උෂ්න්ත්ව වෙනසට හේතුව කුමක්ද? පැරණි වාහන වල වතුර නොකඩවා සිසිලණය කරනවා. ඒ කාලේ ඉන්ධන අර පරෙස්සමක් ගැන සිතා වාහන නිර්මාණය කලේ නැහැ. ඉතින් ඒ සිසිලණය කරන්න කරන්න, යේ ද්‍රවය රත් වෙනවා. ද්‍රවය රත් වෙන්නේ ඉන්ධන වලින්. මේ නිසා ඉන්ධන වැඩියෙන් වැය වෙනවා. එන්ජිමක් එක්තරා ප්‍රශස්ත (Optimum) උෂ්ණත්වයකට ඉහළ ගියාට එහි ඇති අවුලක් නැහැ. ඒ නිසා අළුත් වාහනයක් නිර්මානයේදී, එම වතුර සංසරණය සීමා කරනවා. ඒ සඳහා එක්තරා උෂ්නත්වයකදී පමණක් එම සංසරණය සම්පුර්ණයෙන් සිදුවීමට තර්මොස්ටැට් කපාටයක් (Valve) තියෙනවා. තර්මොස්ටැට් කපාටයක් මගින් වෙන්නේ, කිසියම් උෂ්ණත්වයක් ඉහළදී ද්‍රවයට ගමන් කිරීමට කපාටය විවර කිරීම මෙන්ම, එම උෂ්ණත්වයට පහළකදී කපාටය වසා දැමීමයි. මෙහිදී ශීතල පරිසරයකදී එම කපාටය විවෘත නොවීමෙන් ඉක්මනින් එන්ජිම අවශ්‍ය ප්‍රශස්ත උෂ්ණත්වයට ගෙන එන අතර ඉතා උණුසුම් පරිසරයකදී මෙන්ම වැඩි භාරයක් (High load) එන්ජිම මගින් අදින විට වැඩියෙන් විවෘත වෙනවා. මෙයින් වැඩි කාර්යක්‍ෂම සිසිලන ක්‍රමයක් එන්ජිමට ලැබෙනවා.

මේ අනුව, රේඩියේටරයේ ප්‍රමාණයත් වෙනස් වෙනවා. එනම් එන්ජිමේ උපරිම භාරය දරන විට අවශ්‍ය සිසිලණය සඳහා පමණක් යෝග්‍ය වන රේඩියේටරයේ ප්‍රමාණය තීරණය කරනවා. දැන් මෙතනදී සිසිලණ ද්‍රවය සිසිල් වන රේඩියේටරයත් සිසිලණය කරන්න පංකාවක් හෝ ඊට වැඩි ගණනක් තියෙනවා. එතනදීත් ඉහත කී එන්ජිමේ ප්‍රශස්ත උෂ්ණත්වය ගැන සලකා එම පංකා කරකවනු ලබනවා. පැරණි තාලයේ වාහන වල පංකාව ක්‍රියාත්මක වන්නේ කෙලින්ම එන්ජිමේ වේගයට සමානුපාතික වන ලෙස පටියකින් (Belt). එසේ නැත්නම්, කෙළින්ම එය එන්ජිමට සවි කර තියෙනවා. තව ක්‍රමයක් නම්, ද්‍රව ලිහිස්සුම් (Liquid clutch) එකක් හරහා පංකාව සම්බන්ද වෙනවා. මේ ක්‍රමයේදී එම ද්‍රවය වාහනේ උණුසුම් වීමට අනුරූපව ක්‍රියාත්මක වී පංකාව කරකවනු ලබනවා. අළුත් වාහනවල බොහෝ විට විද්‍යුතයෙන් ක්‍රියාත්මක වන පංකාවල් තියෙනවා.

රේඩියේටරය සම්බන්ද ප්‍රශ්න වලින් බේරෙන්න නම්, රේඩියේටරයේ එම වැසුනු ද්‍රව පරිපථය කලින් කලට නඩත්තු කළ යුතු වෙනවා. ද්‍රවය ගෙන යන හෝස් හෙවත් රබර් බට වල තත්වය වරින් වර නිරීක්ෂණ කළ යුතු වෙනවා. වාහනයේ උෂ්ණත්වය පෙන්වන දර්ශකය සාමාන්‍යයෙන් ඇති තැන මතක තියා ගෙන, එහි විචලනය ගැන සෝදිසි වන්න ඕනා. එහි ද්‍රවය ඇති ඇතුලාන්තය පමණක් නොව පිටත් බැඳෙන දුවිළි වැනි දේ, කලින් කලට ඉවත් කළ යුතු වෙනවා. නැතිනම් ඒ සිසිලණ ක්‍රියාවළිය නිවැරදිව වෙන්නේ නැහැ. තදැති වතුර පාරක් හෝ සුළං පාරක් මගින් ඒ දුවිළි ඉවත් කරගන්න පුළුවන්. මේවා කරන්න ඔබට අපහසු නම්, පිළිගත් ආයතනයකට කියා එය කර ගන්න වෙනවා. එහෙත්, මේ හැම දෙයක්ම ඔබටම ගෙදරදී කරගන්න හැකියාව තියෙනවා.

දැන් බලාගෙන ගියාම මේ රේඩියේටරයත් “හෙණ ඇණයක්නේ” කියා ඔබට හිතෙන්න පුළුවන්. ඇත්තටම රේඩියේටර් නැති වාහන මේ ලෝකේ ඇත්තෙම නැද්ද? වායුවෙන් සිසිල් වෙන වාහන තියෙනවා. ඒ අවස්තාවෙත් තරලයක් භාවිතා වෙනවා. කොපමණ දුර ගියත්, වාහනේ බොනට්ටුව යට එන්ජිමක් නැති, එතරම් රත් නොවන විද්‍යුත් වාහන වලත් රේඩියේටර තියෙනවා. වෙන එකක් තබා අහසේ පියාසර කරන ගුවන් යානාවලත් රේඩියේටර තියෙනවා. වාහනයට හෝ ගුවන් යානයට සැළකිය යුතු බරක් රේඩියේටර හා ආශ්‍රිත උපකරණ වලින් ඇති කරනවා.

පින්තුරවල ඇත්තේ ඒ රේඩියේටර් අවුල් සොයාගන්නට හැකි ක්‍රම ඇති ටූල්ස් ටිකක්.

රේඩියේටරය අපේ ලෝකයේ වාහන වලින් ඉවත් වන්නට සෑහෙන කාලයක් යාවි. ඒ නිසා ඒ ගන ඉගෙන ගත්තා කියා අහක යන එකක් නැහැ.

ලලිත් කරුණාරත්න  

(වෙබ් සඟරාවේ පළවන නවතම ලිපි ගැන ඊමේල් මගින් දැනුවත් වෙන්නේ සාමාජික අයදුම්පත පුරවා විදුලොවින් සාමාජිකත්වය ලබා ගන්න)

Lalith Karunaratna's photo.Lalith Karunaratna's photo.

Lalith Karunaratna's photo.

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *