Home » දැනුමට යමක් » ඔබේ දුරකථනය ආරක්‍ෂිත ද?

ඔබේ දුරකථනය ආරක්‍ෂිත ද?

අපි දුරකථනයක් මිළදී ගැනීමේදී එහි වර්ගය (brand) , මිල,  වීඩියෝගත කිරීමේ ගුණාත්මක භාවය (video quality), 3G or 4G යනාදිය ගැන සැලකිලිමත් වෙනවා. හැබැයි අපි බොහෝ දෙනෙක් සැලකිලිමත් නොවුනු නමුත් අනිවාර්යයෙන් දැනගෙන සිටිය යුතු දෙයක් පිළිබදවයි මේ කියන්න යන්නේ. ඒ තමයි දුරකතනයේ විකිරණශීලි මට්ටම පරික්ෂා කිරීම.

ජංගම දුරකථන සන්නිවේදන කටයුතු සිදු කරන්නේ විද්‍යුත් චුම්භක තරංග භාවිතයෙන්. විද්‍යුත් චුම්භක තරංග ඉතා පුළුල් ශක්ති පරාසයක විහිදී ඇති අතර ඇතැම් විද්‍යුත් චුම්භක තරංග ශරීරයට ඉතාම හානිදායකයි. ඒ, එම තරංග වල අධික ශක්තියක් ගැබ්වී ඇති නිසා. නමුත්, දුරකථන සඳහා භාවිතා කරන විද්‍යුත් චුම්භක තරංග වල අධික ශක්තියක් ගැබ්වී නැහැ. අධික ශක්තියක් ගැබ් වී නොමැති වුනත්, දීර්ඝ කාලයක් ජංගම දුරකථන මගින් සංවාදයේ යෙදීම හේතුකොට ගෙන මොළය රත්වීමට ලක්වෙනවා. මෙමගින් මොළයේ සෛල වලට හානි පැමිණීමේ අවධානමක් තිබෙනවා. හිස් කබල හරි හැටි ශක්තිමත් නැති කුඩා දරුවන්ට මෙම අවධානම වැඩියි. දුරකතනයේ විකිරිණශීලි මට්ටම ඉහල නම් මෙම හානිය තවත් වැඩියි.

අපේ දුරකථන වල මේ විකරණශීලී මට්ටම පරීක්ෂා කරන්නේ SAR අගයෙන්. SAR අගය කියන්නේ Specific Absorption Rate යන්නයි. SAR අගය 1.6 watts per kilogram (1.6 W/kg)ට අඩු නම් ඔබගේ දුරකථනය විකිරණශීලී අවදානම බවයි සැලකෙන්නේ.  කෙසේ වෙතත් මෙම අගය පිළිබඳව විවිධ සම්මතයන් ඇති අතර එක් එක් රටේ නිත්‍යානුකුල SAR මට්ටම එකිනෙකට වෙනස් විය හැක. උදාහරණයක් ලෙසින් ඇමෙරිකාවේ භාවිතා වන සම්මතය 1.6 වුවත් ශ්‍රී ලංකාවේ සම්මත අගය 2.0 වේ. ශ්‍රී ලංකාව භාවිතා කරන්නේ ICNIRP සම්මතයන් වීම මෙයට හේතුවයි.

කොහොමද මේ SAR අගය පරීක්ෂා කරන්නේ?

ඔබ මිළදී ගත් දුරකථනය සමග ලබාදෙන විස්තර පත්‍රිකාවේ අනිවාර්යයෙන් SAR අගය සදහන් විය යුතුයි. එහෙම නැත්නම් දුරකතනයේ *#07# type කරල බලන්නත් පුලුවන් වේවි. දුරකථන නිෂ්පාදන සමාගමේ වෙබ් අඩවියෙනුත් මේ ගැන දැනගන්න හැකි වේවි. හැබැයි, ඔබගේ දුරකථනය ව්‍යාජ එකක් නම් වෙබ් අඩවියේ තියෙන තොරතුරු ඔබගේ දුරකථනය සමග නොගැලපේවි.

මෙහිදි ලැබෙන අගය 1.6 වැඩිනම් අනිවාර්යයෙන් ඔබගේ දුරකථනය මාරු කිරීම ශරීර සෞඛ්‍යයට හිතකර වේ. ඒ වගේම අනාගතයේදී ඔබ දුරකථනයක් මිළදී ගන්නා විට SAR අගය පරීක්ෂා කරන්නත් අමතක කරන්න එපා.

නයනා දර්ශණී  (වෙබ් අඩවිය: www.danuma.info)

[විදුලොවින් පණිවිඩය: ඔබත් ඔබේ දැනුම මිතුරන් සමග බෙදා ගැනීමට කැමති නම්, විදුලොවින් වෙබ් සඟරාව ඔබට ද විවෘතව ඇත. යොමු කරන්න ඔබේ ලිපි v.thaksalawa@gmail.com ඊමේල් ලිපිනයට.]

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *