Home » විශේෂාංග » ඉංජිනේරු තාක්‍ෂණය » ස්පොට් වෙල්ඩින්

ස්පොට් වෙල්ඩින්

spot welding -machinemart.co.uk

රූප සටහන් 01: කුඩා ප්‍රමාණයේ ස්පොට් වෙල්ඩින් යන්ත්‍රයක් (Image Credit: machinemart.co.uk)

ස්පොට් වෙල්ඩින් (spot welding) ලෙසින් හඳුන්වන්නේ ලෝහ එකිනෙක හා සම්බන්ධ කරන පෑස්සුම් ක්‍රියාවලියක්. මෙම පෑස්සුම් ක්‍රියාවලියට විද්‍යුත් ප්‍රතිරෝධය පදනම් වන බැවින් මෙහි වඩාත් නිවැරදිව නාමය වන්නේ resistive spot welding යන්නයි (රෙසිස්ටිව් ස්පොට් වෙල්ඩින්).  රූප සටහන් 01 හි පෙන්වන්නේ කුඩා ප්‍රමාණයේ ස්පොට් වෙල්ඩින් යන්ත්‍රයකි.

සාමාන්‍යයෙන් පෑසුම් ක්‍රියාවලියකදී ලෝහය උණු වී තමයි ඒවා එකිනෙක හා සම්බන්ධ වන්නේ (එසේ නොවන පෑස්සුම් ක්‍රියාවලි ද ඇත, ඒ ගැන පසුව සාකච්ඡා කරමු). ඒ නිසා ලෝහය උණු කිරීමට තරම් සමත් තාප ශක්තියක් අවශ්‍ය වෙනවා පෑස්සුම් ක්‍රියාවලිය සිදු කිරීම සඳහා. ස්පොට් වෙල්ඩින් වලදී මෙම තාපය නිපදවන්නේ විදුලි ධාරාවක් මගින්.

පෑස්සුම් යන්ත්‍රයේ ඇති ඉලෙක්ට්‍රොඩ හරහා විශාල ධාරාවක් යැවීමට සලස්වනවා.මෙම ධාරාව එක් ඉලෙක්ට්‍රොඩයක සිට අනෙක් ඉලෙක්ට්‍රෝඩය වෙත ගමන් කරන්නේ පෑස්සිය යුතු ලෝහ තහඩු දෙක හරහායි (රූප සටහන් 02 බලන්න). මෙම ලෝහ තහඩු වල ඇති ප්‍රතිරෝධය නිසා ධාරාව ගමන් කරන විට විශාල තාප ශක්තියක් නිපදවෙනවා. මෙම තාප තාප ශක්තිය නිසා ලෝහය උණු වී ඒ දෙක එකිනක හා පෑස්සෙනවා. මෙන්න මේ ආකාරයට තමයි ස්පොට් වෙල්ඩින් එකක් සිදු වන්නේ.

spot welding substech-com

රූප සටහන් 02 : ඉලෙක්ට්‍රොඩ දෙක අතර workpiece එක ඇති අයුරු (Image Credit: substech.com)

පෑස්සුම සඳහා අවශ්‍ය තාප ශක්තිය නිපදවන්නේ පහත සමීකරණය අනුව. මෙහි I මගින් ධාරාව ද (ඇම්පියර් වලින්)  R මගින් විද්‍යුත් ප්‍රතිරෝධය ද (ඕම් වලින්), t මගින් ධාරාව ගලා යන කාලය (තත්පර වලින්) ද නිරුපණය කරයි. මේ සමීකරණයට අනුව නිපදවෙන තාප ප්‍රමාණය ධාරාව, ප්‍රතිරෝධය, සහ  ධාරාව ලබා දෙන කාලය මත රඳාපවතින බව ඉතා පැහැදිලියි. මෙහි ප්‍රතිරෝධය යන්න අපට අවශ්‍ය පරිදි පාලනය කල හැකි දෙයක් නොවේ. එය රඳා පවතින්නේ පෑස්සුම සිදු කරන ලෝහ කැබැල්ලේ ඇති ගති ලක්ෂණ මතයි. නමුත්, විදුලි ධාරාව (I) සහ කාලය (t) යනු අපට පාලනය කළ හැකි පරාමිතීන් වේ. එබැවින්, පෑස්සුම සඳහා අවශ්‍ය තාප ප්‍රමාණය සුදුසු පරිදි පාලනය කිරීමට ධාරාව සහ කාලය යන පරාමිතීන් භාවිතා කරයි. සාමාන්‍යයෙන්, ධාරාව ලබා දෙන්නේ තත්පරයකටත් වඩා අඩු කාලයකටයි. එය දළ වශයෙන් තත්පර 0.01 සිට තත්පර 0.7ක පමණ පරාසයක පවතිනවා.

අධික ලෙස තාපය ලබා දුන් විට එකිනෙක හා සම්බන්ධ කරන ලෝහයන් අනවශ්‍ය ලෙසින් උණුවීමකට ලක් වනවා. එමෙන්ම, අවශ්‍ය මට්ටමට තාපය ලබා නොදුනහොත් පෑස්සුම නිසි ලෙස සිදු නොවී එය ගැලවී යන්න පුළුවන්. මේ නිසා පෑස්සුමට අවශ්‍ය කරන තාප ප්‍රමාණය නිසි පරිදි ලබා දිය යුතුයි.

ස්පොට් වෙල්ඩින් මගින් බොහෝ විට පාස්සන්නේ තහඩු වුනත් පෑස්සිය හැක්කේ තහඩු පමණක් නෙමෙයි, වයර් වැනි දේ වුවද පෑස්සිය හැක. වැදගත් වන්නේ අදාළ ලෝහය පෑස්සිය හැකිද යන්න (weldability) සහ එහි ගණකමයි. මෙමගින් 0.20mm සිට 32mm පමණ ගණකම පරාසයක ඇති workpiece (පෑස්සිමට අවශ්‍ය කරන ද්‍රව්‍යයයට කියන පොදු නමකි workpiece)  පෑස්සිය හැක. කෙසේ වෙතත් මෙම අගය දළ පරාසයක් වන අතර එය  අදාළ වෙල්ඩින් යන්ත්‍ර මත මෙය රඳා පවතී.

භාවිතාවන්

ස්පොට් වෙල්ඩින් ඉතා බහුලවම භාවිතාවට ගැනෙන ක්ෂේස්ත්‍රයක් වන්නේ මෝටර් වාහන නිෂ්පාදන අංශයයි. වාහනයේ බඳ (body) නිර්මාණය කිරීමේදී බහුල වශයෙන් ස්පොට් වෙල්ඩින් භාවිතා කරයි.

spot welding- wikipedia

රූප සටහන් 03: ස්පොට් වෙල්ඩින් සිදු කරන රොබෝවන් (Image Credit: Wikipedia.org)

ස්පොට් වෙල්ඩින් ක්‍රියාවලිය, අනෙක් වෙල්ඩින් ක්‍රියාවලින්ට සාපේක්ෂව, ඉතාම පහසුවෙන් ස්වයංක්‍රීයකරණය (automate) කළ හැකිය. මේ නිසා මෝටර් වාහන එකලස් කරන කර්මාන්ත ශාලාව වල මෙම ස්පොට් වෙල්ඩින් ක්‍රියාවලිය සිදු කිරීම සඳහා රොබෝවන් භාවිතය ඉතාම සුලබව දැකිය හැක. රූප සටහන් 03  හි පෙන්වන්නේ BMD මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ස්ථාපනය කර ඇති රොබෝවන් ස්පොට් වෙල්ඩින් සිදුකරන ආකාරයයි.

මෝටර් රථ ක්ෂේස්ත්රයට අමතරව ස්පොට් වෙල්ඩින් බහුලවම භාවිතා කරන තවත් කර්මාන්ත ක්ෂේස්ත්‍රයක් වන්නේ මෝටර් රථ සඳහා නිපදවන බැටරි නිෂ්පාදන කර්මාන්තයයි. මෙහිදී සෙල් දෙකක් එකිනෙක හා සම්බන්ධ කිරීමට ස්පොට් වෙල්ඩින් තාක්ෂණය භාවිතා කරයි.

මෙම ලිපියෙන් අපි ස්පොට් වෙල්ඩින් තාක්‍ෂණය ගැන මුලික හැඳින්වීමක් සහ එහි භාවිතාවන් ගැන සාකච්ඡා කළෙමු.  ඔබ මෙයින් යම් දැනුමක් ලබා ගත්තා නම් මිතුරන්ටත් දැනගන්න මේ ලිපිය share කරන්න.

නවතම ලිපි ගැන ඊමේල් මගින් දැනුවත් වන්න දකුණුපස පෝරමය පුරවා වෙබ් සඟරාවේ සාමාජිකත්වය ලබා ගන්න.

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *