Home » විශේෂාංග » ඉංජිනේරු තාක්‍ෂණය » මළ නොකන වානේ වර්ග 5 (ලිපි අංක 2)

මළ නොකන වානේ වර්ග 5 (ලිපි අංක 2)

මළ නොකන වානේ හෙවත් stainless steel ගැන මුලික හැඳින්වීමක් මෙන්ම මෙහි නමෙන් ගම්‍යවන දුර්මතයක් ගැනත් අපි පළමු ලිපියෙන් සාකච්ඡා කළෙමු. එමෙන්ම, විවිධ භාවිතාවන් (applications) සඳහා නිපදවූ එකිනෙකට වෙනස් වූ මළ නොකන වානේ වර්ග ඇති බවද අපි පෙර ලිපියේ සඳහන් කළෙමු. මෙසේ එකිනෙකට වෙනස් වූ කාණ්ඩ 5ක් ඇති අතර මෙම කාණ්ඩ 5 ගැන කෙටි විස්තරයක් පහත ඉදිරිපත් කර ඇත.

මළ නොකන වානේ තැනීමේදී භාවිතා කරන මුලද්‍රවය පදනම් කරගෙන මෙම කාණ්ඩ එකිනෙකට වෙනස් වන අතර, මෙම වෙනස නිසා මෙම එක් එක් කාණ්ඩයේ මළ නොකන වානේ වල ශක්තිය, නම්‍යතාවය, මළ බැඳීමට එරෙහි ක්‍රියාකාරිත්වය ආදී ගුණාංග එකිනෙකට වෙනස් ය.

(මළ නොකන වානේ යන්නට කෙටි යෙදුමක් ලෙස SS යන්න පහත භාවිතා කර ඇති බව සලකන්න. මෙහි SS යනු Stainless Steel යන්නේ කෙටි යෙදුම වන අතර මෙය බොහෝ අවස්ථා වල භාවිතා කරන කෙටි යෙදුමකි)

1 Ferritic (ෆෙරිටික්)

තරමක් මිලෙන් අඩු වූ මෙම කාණ්ඩයේ SS වල නිකල් සහ ක්‍රෝමියම් සාපේක්ෂව අඩු ප්‍රමාණයක් ඇත. (මිල අඩුවීමට මෙය ප්‍රධාන හේතුවකි) සාමාන්‍යයෙන් ක්‍රෝමියම් ප්‍රතිශතය 11% සිට 17% පමණ අගයක පවතී (27% පමණ ඇති වර්ග ද ඇත.). ක්‍රෝමියම් ප්‍රමාණය අඩු බැවින් මෙම කාණ්ඩයේ SS හි මළ බැඳීමට එරෙහි ක්‍රියාකාරිත්වය ද තරමක් අඩු ය.  මෙම කාණ්ඩයේ SS හි කාබන් ප්‍රතිශතය ඉතා අඩු බැවින් ශක්තිමත් භාවය මෘදු වානේ වල ශක්තිමත්භාවය මට්ටමට ඇත. ඉදිකිරීම් ක්ෂේස්ත්‍රයේ මෙන්ම ගෘහභාණ්ඩ නිෂ්පාදනය සඳහා ද බහුල වශයෙන් මෙම කාණ්ඩයේ SS භාවිතා කරයි.

2 Austenitic (ඔස්ටෙන්ටික්)

cutlery

ඔස්ටෙන්ටික් SS භාවිතාවක්

ඉතා බහුල ලෙසින්ම දක්නට ඇති SS කාණ්ඩය මෙය වන අතර ක්‍රෝමියම් වලට අමතරව මෙහි නිකල්, මැංගනීස්, මොලිබ්ඩිනම් සහ නයිට්‍රජන් අඩංගුව ඇත.  මෙම SS සතුව සාපේක්ෂව ඉළහ ශක්තිමත් භාවයක් ඇත. මෙහි උපරිම වශයෙන් කාබන් 0.15% පමණ ප්‍රමාණයක්ද ක්‍රෝමියම් අවම වශයෙන් 16%ක ප්‍රමාණයක් ද අඩංගුව ඇත. SS කාණ්ඩ 200 සහ 300 මෙම කාණ්ඩයට අයත්ය. හැඳි, ගෑරුප්පු, ආහාර පිසින භාජන ආදිය නිෂ්පාදනය සඳහා භාවිතා කරන්නේ මෙම කාණ්ඩයේ SS ය.

3 Martensitic (මාටෙන්සිටික්)

මෙම කාණ්ඩයේ SS හි ක්‍රෝමියම් ප්‍රමාණය Ferritic කාණ්ඩයේ ක්‍රෝමියම් ප්‍රමාණයට බොහෝ දුරට සමාන වන අතර (12% – 14% පමණ) කාබන් ප්‍රතිශතය 1%ක් තරම් ඉහල අගයක ඇත. (1% ක් යනු ඉහල අගයක් බව වානේ සහ වානේ වර්ගීකරණය ලිපිය කියවූ විට ඔබට පැහැදිලි වනු ඇත.) ඉහල ශක්තියක් අවශ්‍ය අවස්ථා වල මෙම වර්ගයේ SS භාවිතා කරයි. අඩු ක්‍රෝමියම් ප්‍රමාණය නිසා මෙම කාණ්ඩයේ SS හි මළ බැඳීමට එරෙහිව ප්‍රබල ක්‍රියාකාරිත්වයක් නැත. කාබන් ප්‍රතිශතය ඉහල බැවින් ඉහල ශක්තියක් ලැබුනද භංගුරතාවය (brittleness) ඉහල මට්මක පවතී.

4 Duplex (ඩුප්ලෙක්ස්)`

මේ කාණ්ඩයේ SS හි ක්‍ෂුද්‍ර ව්‍යුහය (micro-structure) ෆෙරිටික් සහ ඔස්ටෙන්ටික් SS වල මිශ්‍රණයක් ලෙසින් ඇත (දළ වශයෙන් 50% බැගින්). මෙම මිශ්‍ර ස්වභාවය නිසා මෙයට Duplex යන නම භාවිතා කරයි. මෙම කාණ්ඩයේ SS වල ෆෙරිටික් සහ ඔස්ටෙන්ටික් කාණ්ඩ වල SS වලට වඩා වැඩි ශක්තිමත්භාවයක් ඇත. ඩුප්ලෙක්ස් කාණ්ඩයේ SS තවත් අනු කාණ්ඩ වලට වෙන් කර ඇත (මෙම කාණ්ඩ ගැන වෙනම ගැඹුරින් සාකච්ඡා කරන ලිපියේදී මේ ගැන අපි සාකච්ඡා කරමු). මෙහි ක්‍රෝමියම් ප්‍රතිශතය 19% සිට 32% පමණ පරාසයක පවතින අතර මොලිබ්ඩිනම් 5% ක පමණ ප්‍රමාණයක් දක්වා පවතී.

5 Precipitation hardening (PH) [ප්‍රෙසිපිටේෂන් හා(ර්)ඩනින්]

ඉතා ඉහල ශක්තිමත්භාවයක් ඇත මෙම කාණ්ඩයේ SS හි කොපර්, නයෝබියම් සහ අලුමින්යම් වැනි මුලද්‍රව්‍ය ද අන්තර්ගතව ඇත. ක්‍රෝමියම් ප්‍රතිශතය 17% පමණද නිකල් ප්‍රතිශතය 4% පමණ ද ඇත (මෙම අගයයන් වෙනස් වේ). මේවා  ඉතා හොඳින් මැෂින් කළ හැකි SS වර්ගයකි.

මෙම ලිපියෙන් අප අද සාකච්ඡා කලේ මළ නොකන වානේ ප්‍රධාන කාණ්ඩ පහ ගැන ඉතා මුලික වූ කරුණු ස්වල්පයක් පමණි. මේ එක් එක් කාණ්ඩය ගැන වැඩිදුර තාක්‍ෂණික තොරතුරු වෙනම ලිපි 5කින් අපි ඉදිරියේදී සාකච්ඡා කරමු.

(නවතම ලිපි ගැන ඔබට ඊමේල් මගින් දැනගැනීම සඳහා දකුණුපස තීරුවේ ඇති පෝරමය පුරවා විදුලොවින් සාමාජිකත්වය ගන්න. ඔබ පෝරමය submit කල පසු ඔබට ඊමේල් පණිවිඩයක් ලැබෙන අතර එය තහවුරු කළ පසු පමණක් ඔබගේ සාමාජිකත්වය තහවුරු වෙයි)

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *