Home » විශේෂාංග » ඉංජිනේරු තාක්‍ෂණය » මළ නොකන වානේ හඳුනා ගනිමු (ලිපි අංක 1)

මළ නොකන වානේ හඳුනා ගනිමු (ලිපි අංක 1)

දෛනික ජීවිතයේදී අපට නිතර ඇස ගැටෙන සහ නිතර භාවිතා වන ලෝහයක් තමයි stainless steel හෙවත් මළ නොකන වානේ. යම් උපකරණයක් හෝ උපාංගයක් දුටු විට එය සාදා ඇත්තේ stainless steel වලින්ද නැතිද යන්න අපට අපහසුවකින් තොරව හඳුනාගත හැකියි. නමුත් stainless steel ද එකිනෙකට වෙනස් වර්ග ගණනාවක් තිබෙනවා. මේ නිසා එකිනෙකට වෙනස් උපාංග/උපකරණ දෙකක් ගත් විට ඒවා සාදා ඇති stainless steel වර්ග එකිනෙකට වෙනස් වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. අපි අලුතින් යමක් නිර්මාණය කරනවා නම් සහ එයට stainless steel යොදා ගැනීමට අදහස් කරනවා නම්, මෙම එකිනෙකට වෙනස් stainless steel වර්ග ගැන යම් අවබෝධයක් අපට තිබිය යුතුයි. එවිටයි නිවැරදි ලෝහ වර්ගය අපට තෝරාගත හැකි වන්නේ. මේ නිසා අදින් පටන් ගන්නා මෙම කෙටි ලිපි මාලාව තුලින් stainless ගැන තාක්‍ෂstainless steelණික තොරතුරු ටිකක් සාකච්ඡා කරන්නයි අදහසක් කරන්නේ.

තාක්‍ෂණික විස්තර සකච්ඡා කිරීමට පෙර නාමකරණයේ ඇති දුර්වලතාවයක් නිවැරදි කර ගන්න අවශ්‍යයි. අප stainless steel යන වදන සිංහලට පරිවර්තනය් කරන විට භාවිතා කරන්නේ “මළ නොකන වානේ” යන යෙදුම. මෙහි බරපතල වරදක් නැති වුනත්, මෙම නමින් ගම්‍ය වන්නේ මෙම ලෝහය මළනොකන බවයි. මෙය තරමක දුර්මතයක්. සාමාන්‍ය වානේ වර්ග මළබඳින පාරිසරික තත්ත්ව වලදී මෙම ලෝහය මළ බැඳීමක් සිදුවන්නේ නැහැ. මේ නිසයි නිවසේ සින්ක් වැනි නිතර තෙමන් උපාංග සඳහා මළ නොකන වානේ භාවිතා කරන්න හැකිවී තිබෙන්නේ. නමුත්, ඇතැම් විශේෂිත පාරිසරික තත්ත්ව යටතේ දී මළ නොකන වානේ ද මළ බැඳෙන බව වටහාගත යුතුයි.

මීට පෙර වානේ ගැන ලියවුනු ලිපියෙන් වානේ යනු යකඩ සහ කාබන් වල මිශ්‍ර ලෝහයක් (alloy) බව අප සඳහන් කළා. මළ නොකන වානේ ද වානේ විශේෂයක් බැවින් එයද කාබන් සහ යකඩ අඩංගු මිශ්‍ර ලෝහයකි. මීට අමතරව නිකල්, මොලිබ්ඩිනම් වැනි මුලද්‍රව්‍ය ද මෙහි අඩංගුව තිබෙනවා. නමුත්, මළ නොකන වානේ වල ඇති සුවිශේෂීම සංඝටකය වන්නේ ක්‍රෝමියම්. මෙහි අඩුම තරමින් 10.5% ක ප්‍රමාණයක් වත් ක්‍රෝමියම් අඩංගුයි.

මළ නොකන වානේ මළ බැඳීමෙන් ආරක්ෂා කර ගන්නේ එහි ඇති ක්‍රෝමියම් මගිනි. ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරන ක්‍රෝමියම් ක්‍රෝමියම් ඔක්සයිඩ් ස්තරයක් නිර්මාණය කර ගන්නවා. මෙම ඔක්සයිඩ් ස්තරය ඔක්සිජන් වලට යකඩ සමග ප්‍රතික්‍රියා කර මළ බැඳීමට ඇති ඉඩකඩ අහුරාලනවා. එනම්, යකඩ සමග ඔක්සිජන් ගැටීම වළක්වනවා. මේ ආකාරයට තමයි ක්‍රෝමියම් මගින් වානේ මළ බැඳීම මර්දනය කරන්නේ. මළ නොකන වානේ තුල ඇති ක්‍රෝමියම් ප්‍රතිශතය ඉහල යන්න ඉහල යන්න එහි මළ බැඳීමට එරෙහි වීමේ හැකියාව ද ඉහල යනවා.

මේ ලිපියෙන් මළ නොකන වානේ ගැන පූර්ව හැඳින්වීමක් ඉදිරිපත් කල අතර මීළඟ ලිපියෙන් මළ නොකන වානේ ප්‍රධාන වර්ග 5 ගැන සාකච්ඡා කරමු.

(නවතම ලිපි ගැන ඔබට ඊමේල් මගින් දැනගැනීම සඳහා දකුණුපස තීරුවේ ඇති පෝරමය පුරවා විදුලොවින් සාමාජිකත්වය ගන්න.)

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *