Home » Research that Matters » තරු යුග්මයක ගැටුම

තරු යුග්මයක ගැටුම

විශ්වයේ සිදුවූ දැවැන්තම පිපිරුමකට මුලපුරමින් දැවැන්ත තරු දෙකක් එකිනෙක හා ගැටීමට ඉතාම ආසන්න අවස්ථාවකට පැමිණ ඇති බව The astrophysical journal නම් පර්යේෂණ සඟරාවට ලිපියක් ඉදිරිපත් කරමින් පර්යේෂකයින් පිරිසක් හෙළි කර සිටිනවා.

VFTS 352 ලෙසින් නම් කර ඇති මෙම තරු යුග්මය මෙතෙක් සොයාගත් උණුසුම්ම සහ විශාලතම තරු යුග්මය වන අතර එහි සංයුක්ත ස්කන්ධය (combined mass) අපේ හිරුගේ ස්කන්ධය මෙන් 57 ගුණයක් බවයි ඇස්තමේන්තු කර තිබෙන්නේ. මෙම තරු යුග්මයේ පෘෂ්ඨික උෂ්ණත්වය සෙල්සියස් අංශක 40,000කට අධිVFTS_352_940x580කයි. අපේ හිරුගේ පෘෂ්ඨික උෂ්ණත්වයත් සෙල්සියස් අංශක 5,500 ක් පමණ ප්‍රමාණයක් පමණයි. අධික උෂ්ණත්වයත්, අධික ස්කන්ධයත් නිසා මේ යෝධ තරු යුග්මය තුල අති දැවැන්ත තාප ශක්තියක් ගබඩා වී තිබෙනවා.

මේ යෝධ තරු යුග්මය පිහිටා තියෙන්නේ අපගේ ක්‍ෂිරපථය ද ඇතුළු තවත් මන්දාකිණි 54කට අධික ප්‍රමාණයක් පිහිටා තිබෙන Local Group ලෙසින් හඳුන්වන මන්දාකිණි කණ්ඩායම තුලයි. මේ තරු යුග්මයට දුර ආලෝක වර්ෂ 160,000ක් පමණ වෙනවා.

මෙම පර්යේෂකයින් පවසන ආකාරයට මේ වන විට මෙම තරු යුග්මය එකිනෙක හා ඉතා අසන්න වී තිබෙනවා. මෙම තරු දෙකේ කේන්ද්‍ර දෙක අතර දුර කිලෝමීටර් මිලියන 12ක් පමණ ප්‍රමාණයක්. මෙය ඉතා විශාල දුර ප්‍රමාණයක් ලෙසින් අපිට දැනුනත් මෙවැනි යෝධ තරු දෙකක් සලකන විට මෙම දුර ඉතා කුඩා දුර ප්‍රමාණයක්. මෙම තරු දෙක කෙතරම් එකිනෙක හා ලංවී ඇතිද යත්, මේ දෙදෙනාගේ වායුගෝලයෙන් 30%ක් පමණ මේ වනවිටත් එකිනෙක හා සම්බන්ධ වී තිබෙන්නේ. මේ සංයෝජන නිසා අති විශාල තාප ශක්තියක් මේ වන විටත් නිපදවෙමින් පවතිනවා.

මේ තරු දෙක එකක් වටා අනෙක ගමන් කරමින් පවතින්නේ – හරියට පෘථිවිය සුර්යා වටා ගමන් කරනවා වගේ. පෘථිවියට සුර්යා වටා එක වටයක් සම්පුර්ණ කරන්න අවුරුද්දක් ගත වුනත්, මේ එක තරුවකට අනෙක් තරුව වටා ගමන් කරනන් ගත වෙන්නේ එක එක දවසක් (පෘථිවි දින) වැනි ඉතා කෙටි  කාලයක් බවයි මෙම පර්යේෂකයින් පවසන්නේ. මේ අනුව, එහි භ්‍රමණ චලිතය කෙතරම් වේගවත් ද යන්න තේරුම් ගන්න අපහසු නැහැ.

මෙම තරු යුග්මයේ එකිනෙක හා සමීප වීම ආකාර දෙකකින් එක් ක්‍රමයකට අවසන් වනු ඇතැයි මෙම විද්‍යාඥයින් අනුමාන කරනවා.

තරු දෙක එකිනෙක වටා අධික වේගයෙන් සිදු කරන චලිතය දිගටම පැවතුනොත් මේ තරු දෙක එකිනෙක ගැටී මේ විශ්වයේ මෙතෙක් සිදුවූ දැවැන්තම පිපුරුම් වලින් එකක් සනිටුහන් කරමින් මේ තරු දෙක එකිනෙක හා බද්ධ වී තනි යෝධ තරුවක් ලෙසින් පවතින්න පුළුවන්. මෙවැනි පිපිරුමක් ගැමා කිරණ පිපිරුමක් (gamma ray burst) ලෙසින් හඳුන්වනවා. මෙවන් පිපුරුමක් සඳහා මිලි තත්පර 10 සිට පැය 7ක අතර කාලයක් ගත වෙන අතර අධික තාප ශක්තියක් නිකුත් කෙරෙනවා. මෙම තරු බද්ධ වීමේ අදහස ඉදිරිපත් කරන්නේ බෙල්ජියමේ ලුවෙන් විශ්ව විද්‍යාලයේ හියුගස් සානා නම් පර්යේෂකයා.

අනුමාන කෙරෙන දෙවන ක්‍රමය වන්නේ මෙම තරු දෙක එකිනෙක හා සම්බන්ධ වී කළු කුහර (black hole) යුග්මයක් බිහි වනු ඇති යන්නයි. මෙය මෙසේ සිදු වුනොත් කළු කුහර යුග්මයක් නිර්මාණය වෙන ආකාරය නිරීක්ෂණ කරන පළමු අවස්ථාව මෙය බවට පත් වෙනවා.

මීට තරමක් වෙනස් අදහසක් දක්වන නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් සරසවියේ සෙල්මා මින්ක් පවසන්නේ මෙම තරු යුග්මය ඇතැම් විටක එකිනෙක හා යා නොවී තරු අතර දුර එක මට්ටමක පවත්වාගෙන යුග්ම තරුවක් ලෙසින් සම්පුර්ණයෙන්ම වෙනස් ගමන් මාර්ගයක ගමන් කරමින් පවතිනු ඇති බවයි.

කොහොම වුනත් VFTS 352  තරු යුග්මයේ මෙම අවසන් හාදුව වෙත පර්යේෂකයින්ගේ දැඩි අවධානය මේ වනවිට යොමුවී තිබෙනවා.

පර්යේෂණ ලිපිය:
A. Almeida, H. Sana, S. E. de Mink, F. Tramper, I. Soszyn´ski, N. Langer, R. H. Barbá, M. Cantiello, A. Damineli, A. de Koter, M. Garcia, G. Gräfener, A. Herrero, I. Howarth, J. Maíz Apellániz, C. Norman, O. H. Ramírez-Agudelo, and J. S. Vink, Discovery of the massive overcontact binary VTFS 352 evidence for enhanced internal mixing, The astrophysical journal, 2015, vol. 812(2)

තොරතුරු මුලාශ්‍ර : http://www.sciencealert.com/

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *