Home » හෙට ලොව තාක්‍ෂණය » ටොයෝටා: නවතම හයිඩ්‍රජන් කාරය එළිදැක්වීමට සූදානම්

ටොයෝටා: නවතම හයිඩ්‍රජන් කාරය එළිදැක්වීමට සූදානම්

පොසිල ඉන්ධන (පෙට්‍රල්, ඩීසල්, ගල් අඟුරු වැනි) දහනයෙන් සිදුවන පරිසර දුෂණය මේ වනවිට දැවැන්ත පාරිසරික අර්බුදයක් දක්වා ගමන් කර ඇත. එමෙන්ම, දිනෙන් දින ඉහල යන ඉන්ධන ඉල්ලුමට සරිලන ලෙස සැපයුම ලබා දීමට නොහැකි වීම හේතුවෙන් ඉන්ධන මිල ඉහල යාම බරපතල සමාජයීය අර්බුද රැසකට මංපෙත් විවර කර ඇත. දැඩි ලෙස පොසිල ඉන්ධන මත යැපීම හේතුවෙන් ඇතිවී තිබෙන මෙම අර්බුදකාරී තත්වයට පිලියමක් ලෙස විකල්ප බලශක්තියක් වූ හයිඩ්‍රජන් වායුව ඉන්ධනයක් ලෙස යොදා ගැනීම පිළිබඳව සිදු කෙරෙන පර්යේෂණ මේ වන විට ඉතා සාර්ථක මට්ටමට පැමිණ ඇත. මේ අතරින් ප්‍රවාහන කටයුතු සඳහා හයිඩ්‍රජන් ඉන්ධන යොදා ගැනීම ප්‍රමුඛත්වයක් ගනී. මෙය කෙතරම් සාර්ථකද යත්, මේ වන විට ලොව පුරා ප්‍රමුඛ පෙළේ මෝටර් රථ නිෂ්පාදකයින් විශාල පිරිසක් ඉදිරි වසර කිහිපය තුලදී සිය හයිඩ්‍රජන් වාහන වෙළඳපොළට නිකුත් කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇත. (මෙම සමාගම් සහ ඔවුනගේ හයිඩ්‍රජන් වාහන ගැන තොරතුරැ “ළඟදීම පාරට එන හයිඩ්‍රජන් වාහන” ලිපි මාලාව යටතේ අප ඉදිරිපත් කර ඇත)

මෙම වසරේ නොවැම්බර් අග භාගයේදී පැවැත්වීමට නියමිත 43 වන ටෝකියෝ මෝටර් රථ ප්‍රදර්ශනයේදී එළිදැක්වීමට නියමිත ටොයෝටා  සමාගමේ නවතම හයිඩ්‍රජන් වාහන මොඩලය පිළිබද විස්තර පසුගියදා එම සමාගම විසින් එළිදක්වා තිබුණි. හතර දෙනෙකුට ගමන් කල හැකි මෙම කාරය ඔවුන්ගේ පෙර මොඩලයට වඩා ජව සම්පන්නය. මෙහි ඇති Fuel Cell Stack එක මගින් 100kW ජවයක් නිපදවන අතර එහි භෞතික විශාලත්වය පෙර පවතී fuel cell stack එකට වඩා කුඩා කර ඇත. එමගින් වැයවන ඉඩ ප්‍රමාණය අවම කර ඇත. (Fuel cell stack එක යනු මෙම වාහන වල එන්ජිම වෙනුවට ඇති උපකරණයි. මෙමගින් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් ප්‍රතික්‍රියා කර විදුලිය නිපදවීම සිදු කරයි.)

 මෙහි ඉන්ධන ටැංකි දෙකක් ඇති අතර ඒවා 70MPa පීඩනයක් යටතේ ඇති හයිඩ්‍රජන් වායුව ගබඩා කර තබා ගනී. ඉන්ධන ටැංකි සම්පූර්ණයෙන්ම පිරි ඇති විට නැවත ඉන්ධන පිරවිමකින් තොරව අවම වශයෙන් 500km  දුරක් මෙම කාරයට ධාවනය කල හැකි බව සඳහන් වෙන්. තවද, සම්පුර්ණයෙන්ම ඉන්ධන පිරවීම සඳහා ගත වන්නේ මිනිත්තු 3ක් වැනි කෙටි කාලයකි. එය සාමාන්‍ය කාරයකට ඉන්ධන (පෙට්‍රල්/ ඩිසල්) පිරවීම සඳහා ගතවන කාලය හා  සමාන කාලයකි.

 ගෘහස්ත විදුලි බලය ඇණහිට ඇති හදිසි අවස්ථාවකදී මෙම කාරයට නිවසට විදුලිය සැපයිය හැකිය. (මෙම පහසුකම Honda සමාගමේ FCX Clarity හයිඩ්‍රජන් කාරයට ද ඇත). ගණන් බලා ඇති ආකාරයට, ඉන්ධන ටැංකිය සම්පුර්ණයෙන්ම පුරවා ඇති නම්, මෙයට ජපානයේ නිවසකට සතියකට වඩා වැඩි කාලයක් අඛණ්ඩව විදුලිය සැපයිය හැකිය බව සඳහන් වේ.

 (හයිඩ්‍රජන් වාහන තාක්‍ෂණය පිළිබඳව සහ fuel cell පිළිබඳව සරළ පැහැදිලිකිරීම් සහිත ලිපි මාලාවක් 2013 නොවැම්බර් 20 වන දින සිට අපගේ මෙම වෙබ් අඩවිය තුලින් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත. එබැවින් ඔබත් “විදු ලොවින්” සාමාජිකත්වය ගෙන ඔබගේ ගැටළු/ අදහස් ඉදිරිපත් කරන්න.)

අපගේ ෆේස්බුක් පිටුවේ පළ වූ කෙටි ලිපිය:

13. Toyota Fuel Cell Car

තොරතුරු මූලාශ්‍ර:
Fuel Cell Today සඟරාව සහ Toyota සමාගමේ මාධ්‍ය නිකුතුව (November 2013)

ඔබේ අදහස් කියන්න....
Author: vidulowin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *